වෘත්තීය පුහුණු අධිකාරියේ උපාධිධාරීන්ට කොමර්ෂල් බැංකුවේ අතහිත

වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) පුහුණුව අවසන් කර ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකය ලබා තිබෙන පාසැල් හැරගිය 210 දෙනෙකුට ඉතාමත් හොඳ රැකියා සොයාගැනීම සඳහා කොමර්ෂල් බැංකුව සහහෝගය ලබාදී ඇතැයි පවසයි. 

ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ තිබෙන කුසලතා හිඟය පියවීම සඳහා ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය විසින් 2015 වසරේදී මුලින්ම ආරම්භ කළ ‘දින 120 පුහුණුව’ සඳහා කොමර්ෂල් බැංකුව පාර්ශවකරුවෙකු බවට පත් විය. 10 වන ශ්‍රේණියෙන් පසුව පාසැල් හැරයන දරුවන්ට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ තිබෙන රැකියා පිළිබඳව විශේෂඥ පුහුණුවක් ලබාදීම සඳහා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් මෙම පුහුණුව ආරම්භ කරන ලදී. 

මෙම පුහුණුව යටතේ සිසුන්ට මේසන්, වඩුවැඩ, පයිප්ප වැඩ පිළිබඳව න්‍යායික සහ ප‍්‍රායෝගික පුහුණුව ලබාදෙන අතර දින 120 ක පුහුණුව අවසන් කරන සිසුන්ට වෘත්තීය පුහුණු අධිකාරිය විසින් 03 වන මට්ටමේ NVQ සහතිකය ප‍්‍රදානය කරයි. මෙම පුහුණුවේදී ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය ඉංග‍්‍රීසි දැනුමද මෙම සිසුන්ට ලබාදෙන නිසා විදේශීය රැකියා සඳහාද පහසුවෙන් ඇතුළත්වීමට මෙම සිසුන්ට අවස්ථාව හිමිවේ. 

මෙම පුහුණුව සඳහා සහභාගී වූ අභිපේ‍්‍රරණ පුහුණුව ලබාදුන් සම්පත් දායකයින්ට සහ පාඨමාලාවට අවශ්‍ය මුද්‍රණය කටයුතු කිරීමට මෙන්ම පාඨමාලාවට අවශ්‍ය පුහුණු උපකරණ ලබාගැනීමට අරමුදල් සපයමින් කොමර්ෂල් බැංකුව 2015 සිට 2020 දක්වා මෙම වැඩසටහන සඳහා සහයෝගය දක්වන ලදී. 

මෙම සහයෝගයට අමතරව මෙම පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන්ට රැකියා ලබාගැනීම සඳහාද බැංකුව වෘත්තීය පුහුණු අධිකාරියට සහයෝගය දැක්වීය. මේ අනුව, මාගා ඉංජිනියරිං, නවලෝක කන්ස්ට‍්‍රක්ෂන්, ශ‍්‍රීපාලි කන්ස්ට‍්‍රක්ෂන්, ඇක්සස් ඉංජිනියරිං ඇතුළු සමාගම්වල රැකියා අවස්ථා හිමිකර ගැනීමට මෙම සිසුන්ට අවස්ථාව හිමිවූ අතර ඔවුන්ගේ ආරම්භක වැටුප රුපියල් 50,000 ක් ඉක්මවා තිබීම මෙහිදී කැපී පෙනුණු කාරණාවක් විය.

වෘත්තීය පුහුණු අධිකාරියේ සහ කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරයේ නිළධාරීන් මෙම සමාගම්වල කළමනාකාරීත්වය කිහිප වතාවක්ම මුණගැසී මෙම රැකියා ලාභීන් NVQ මට්ටම් හතර, පහ, සහ හය ලබා ගැනීමට දිරිගන්වන්නැයි ඉල්ලීම් කරන ලදී. අවසානයේදී ඔවුන්ට NVQ  මට්ටම් හතවන මට්ටමද රත්මලානේ පිහිටි වෘත්තීය තාක්ෂණික විශ්ව විද්‍යාලය මගින් සිවිල් ඉංජිනේරු උපාධියද ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපේ්ක්ෂා කෙරේ.  

වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු වැඩසටහන සඳහා සහයෝගය ලබාදීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ක්ෂේත‍්‍රයන් කුමක් වුවත් රටේ සංවර්ධනය සඳහා එහි ශ‍්‍රම බලකාය ඉතාමත් වැදගත් සාධකයක් බව අපි හඳුනා ගත්තා. ඉදිකිරීම් කර්මාන්තය සඳහා කුසලතා වලින් පිරිපුන් ශ‍්‍රම බලකායක් ගොඩනගා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ අනුව, වෘත්තීය පුහුණු අධිකාරියේ මෙම වැඩසටහනට සහයෝගය ලබාදීම තුළින් තරුණයින්ට ඉතාමත් හොඳ රැකියා සොයාගැනීමට මග පෑදෙනවා මෙන්ම මෙරට ඉදිකිරීම් කර්මාන්තය සංවර්ධනය කරමින් රටට සේවයක් කිරීමට හැකියැයි අපි හඳුනා ගත්තා.’

රෙන්ගනාදන් මහතා පැවසුවේ මෙම පාඨමාලාවේ ආරම්භක කණ්ඩායමේ බොහෝ සාමාජිකයින් මේ වනවිට රැකියා කරමින්ම NVQ මට්ටම් 05 සපුරා ගැනීමට සමත්වී තිබෙන බවයි. ‘මෙම පාඨමාලාව හදාරන උනන්දුවක් තිබෙන  ඕනෑම කෙනෙකුට අවුරුදු 23 ක් වනවිට සුදුසුකම් සපිරූ පළපුරුදු සිවිල් ඉංජිනේරුවෙකු දක්වා පවා ගමන් කළ හැකියි,’ යනුවෙන් රෙන්ගනාදන් මහතා වැඩිදුරටත් පැවසීය.

10 වන ශ්‍රේණියෙන් පාසැල් අධ්‍යාපනය අවසන් කරන සිසුන්ට විශ්ව විද්‍යාලයකට ඇතුළත් නොවී සිවිල් ඉංජිනේරු උපාධිය ලබාගත හැකි එකම පාඨමාලාව මෙය වේ.

Visits: 63