විනෝදාත්මක බෝට්ටු නිෂ්පාදනයට සිංගප්පූරුව හා ඒකාබද්ධ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ විනෝදාත්මක බෝට්ටු කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳ මාර්ගගත (Online) වැඩමුළුවක් සාර්ථක ලෙස සංවිධානය කරන්නට සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ අංශය පසුගියදා පියවර ගත් බව පවසයි.

මැයි 11 වැනි දින පැවැත්වුණු මෙම වැඩමුළුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සිංගප්පූරු බෝට්ටු කර්මාන්ත සංගමය සම-සත්කාරකත්වයෙන් යුතුව සංවිධානය වී තිබේ.

ශ්‍රී ලංකාව කලාපයේ ආකර්ශනීය මැරීනාවක් බවට පත්වීම සඳහා විනෝදාත්මක බෝට්ටු කර්මාන්තයේ උපායමාර්ගික දිශාව, වෙළඳපල පුළුල් කිරීම, සැලසුම් කිරීම සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ දේශීය සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා පාර්ශ්වකරුවන්ට මෙම මාර්ගගත වැඩමුළුව මඟින් අවස්ථාව ලබා දෙන ලද බව තානාපති කාර්යාලය පවසයි.

මෙම අවස්ථාව සඳහා, සිංගප්පූරු-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සහ ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය වැඩිදියුණු කිරීමේ ආයතනය යන ආයතනවල සහාය ලබා දෙන ලදි. මෙම අවස්ථාව සඳහා සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ 100 කට අධික පිරිසක් සහභාගී වී ඇතැයි පැවසෙයි.

මෙම මාර්ගගත වැඩමුළුව සඳහා මණ්ඩල සාකච්ඡා දෙකක් සහ වට මේස සාකච්ඡාවක් ඇතුළත් වී ඇත. ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, තායිලන්තය සහ හොංකොං යන රටවල ප්‍රවීණ කර්මාන්ත විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් බෝට්ටු තැනීමේ අපනයන අංශයේ සංවර්ධනය සහ දේශීය අංශයේ සංවර්ධනය, විශේෂයෙන් මරීනා සංවර්ධනය, යටිතල පහසුකම් සහ නාවික සංචාරක කටයුතු පිළිබඳව මණ්ඩල සැසිවල අවධානය යොමු වී ඇත.

එම රටවල් ප්‍රධාන වශයෙන් GMBA එක්සත් රාජධානිය, තායිලන්ත යාත්‍රා ව්‍යාපාර සංගමය, ශ්‍රී ලංකා සිංගප්පූරු ව්‍යාපාරික කවුන්සිලයේ අනුකමිටුව, හොංකොං බෝට්ටු කර්මාන්ත සංගමය, එස් යූ ටි එල් එන්ටර්ප්‍රයිසස් – වන් 15 මරීනා සිංගප්පූරුව, GMBA ස්පාඤ්ඤය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නියෝජනය කර තිබේ.

මෙම සැසි දෙක පිළිවෙලින් කොළඹ ඩොක්යාඩ් සමාගමේ අලෙවිකරණ අංශ ප්‍රධානී ප්‍රින්ස් ලයි මහතා සහ සිංගප්පූරු බෝට්ටු කර්මාන්ත සංගමයේ සභාපති වයි.පී. ලොක් මහතා විසින් මෙහෙයවා තිබේ.

මෙම වැඩමුළුව මඟින් රාජ්‍ය අංශයට සහ පෞද්ගලික අංශයට කර්මාන්තයේ උපායමාර්ගික දිශාව ලබා දීමට සහ කර්මාන්තයේ හැකියාවන් සහ තරඟකාරී තත්ත්වය, මරීනා සංවර්ධනයේ ප්‍රතිපත්ති රාමුව සහ නාවික සංචාරක කටයුතු සඳහා දේශීය අවස්ථා පිළිබඳ විස්තර සැපයීමට අවස්ථාව සැලසීය.

දැනුවත් කිරීම සහ විදේශ ආයෝජන, ගැනුම්කරුවන් සහ බෙදාහරින්නන් ආකර්ෂණය කර ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ සැපයුම් හැකියාව සහ ආයෝජන සහ හවුල් ව්‍යාපාර අවස්ථාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා,බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, බෝට්ටු ගොඩනැගීමේ තාක්ෂණ වැඩිදියුණු කිරීමේ ආයතනය, නීල් මැරීන් පුද්ගලික සමාගම, සේල් ලංකා චාටර් ගෲප් විසින් ඉදිරිපත් කිරීම් සිදුකර තිබේ.

මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් සහ වයි.පී. සිංගප්පූරු බෝට්ටු කර්මාන්ත සංගමයේ සභාපති ලොක් යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවේ දී සමාරම්භක අදහස් දක්වා තිබේ.

Visits: 115