ටයිල් අංශය සතුවූ බලාපොරොත්තු නොවූ ඉපැයීම් දර්ශක අගයන් ඉහළ නංවයි

අද (මැයි 28) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු වඩාත් ඉහළ ගැණුම්කාරීබවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම ටයිල් සමාගම් තුළ බලාපොරොත්තුවූ තත්ත්වයටත් වඩා වැඩි ඉපැයීම් වාර්තා කිරීම් මෙන්ම ලාභාංශ බලාපොරොත්තු ඒ සඳහා මූලිකවම හේතු වී තිබේ.

එසේම සිලෝන් ටොබැකෝ කම්පැනි සමාගමේ ලාභාංශ ගෙවීම්ට පෙර ආයෝජකයන් තුළ පැවැති ලාභ ඉපැයීමේ අවස්ථාවන්ද දිනයේ මුල් අවස්ථාවේදී දර්ශක අගයන්හි විචලනය සඳහා බලපෑම් එල්ල කර තිබේ. මීට අමතරව නිෂ්පාදන අංශයේ සමාගම්ද අද දිනයේදී ඉතාමත් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අතර, බැංකු සම්බන්ධයෙන් වන ආයෝජක ක්‍රියාකාරකම්ද ඉහළ යාමක් දක්වා ඇතැයි කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,280.97ත් ඒකක 7,349.05ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,333.42ක් බවට පත්විය. එය පසුගිය අඟහරුවාදා  (මැයි 25දා) දිනයට සාපේක්ෂව ඒකක 55.18ක් එනම් +0.76%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිදු වූ ඩයලොග් ආසිආටා, හැටන් නැෂනල් බැංකුව සහ ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී දිනයේ සමස්ත පිරිවැටුමෙන් 15.6%ක් සඳහා දායකත්වයක් ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 121ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 46ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+7.27), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+6.73), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+5.39), සම්පත් බැංකුව පීඑල්සී SAMP (+4.15), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (+3.63), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-15.92), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-1.19), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-1.04), ෂාලිමාර් (මැලේ) පීඑල්සී SHAL (-0.81), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (-0.68) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,955.71ක අගයක් ගත් අතර, එය පසුගිය බදාදා (25දා) ‍ට සාපේක්ෂව ඒකක 29.84 ක එනම් +1.02%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.89ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය බදාදා (25දා) වාර්තා කළ රුපියල් බිලියන 1.09ට සාපේක්ෂව 166% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.24ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 9.35%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 401.7ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 685.09ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 283.4කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 24.95ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සම්පත් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 61.79 කි. එසේම ඩයලොග් ආසිආටා විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 307.22ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 772ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගෙන තිබේ. එසේම දුරකතන සන්නිවේදන සේවා සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 610ක සහ රුපියල් මිලියන 532ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 670