LVMH හිමි ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝ ලෝකයේ ධනවත්ම පුද්ගලයා වෙයි

ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ප්‍රංශයේ බිලියනපතියෙකු වන බර්නාඩ් ආර්නෝ (Bernad Arnault) සමත්ව ඇතැයි ෆෝර්බ්ස් බිලියනපතියන්ගේ නවතම ලැයිස්තුව අනාවරණය කරයි. පසුගිය මැයි 24 වැනිදා වනවිට එක්සත් ජනපද ඩොලර් බිලියන 186.3ක වත්කමකට හිමිකම් කියමින් ඔහු මෙම ස්ථානයට පත්ව තිබේ.

එහිදී මෙතෙක් ලොව අංක එකේ ධනවතුන් ලෙස වැජඹුනු ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෙෆ් බෙසොස් සහ එලොන් මස්ක් අභිබවමින් ආර්නෝ ලොව ධනවතා බවට පත්වීමට සමත්ව තිබේ.

මැයි 24 වැනිදා වනවිට ඇමසෝන් හිමිකරු ජෙෆ් බෙසොස්ගේ වත්කම ඩොලර් බිලියන 186.0ක් ලෙස සටහන්ව ඇති අතර, ස්පේස් එක්ස් සහ ටෙස්ලා හිමිකරු එලෝන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 147.3ක් බවට පත්ව තිබේ.

ෆෝබ්ස් වෙබ් අඩවිය පවසන ආකාරයට ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝ 2018 වසරේ සිටම ලොව මුල්ම ධනවතුන් පස් දෙනා අතර රැඳී සිට ඇත. විලාසිතා කර්මාන්තය හරහා සිය ව්‍යාපාර ඇරඹූ බර්නාඩ් පසුව ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙත යොමු වෙමින් සිය සාර්ථකත්වය ළගා කරගෙන ඇත.

අදවනවිට බර්නාඩ් ප්‍රංශයේ සුඛෝපභෝගී වෙළෙඳනාම රැසකම හිමිකරුවා වෙයි. Louis Vuitton, Dom Perignon සහ Christian Dior එම සන්නාම වෙයි. ඔහු Christian Dior මිලදී ගත්තේ 1985 වසරේදීය. ඔහුට අයත් LVMH (Louis Vuitton Moet Hennessy) අද වන විට සිල්ලර සහ ආගන්තුක සත්කාර කර්මාන්තය දක්වාද පුළුල් වීතිබේ.

වෙබ් අඩවිය පවසන ආකාරයට ආසන්නතම COVID-19 වසංගත තත්ත්වය නිසා ඔහුගේ මෙම LVMH ව්‍යාපාරය වෙත පාඩු සුදු වුවත්, ආසියාව තුළ විශේෂයෙන්ම චීනයේදී එම වෙළෙඳ නාමය වෙත ඉතා ශක්තිමත් අලෙවියක් පැවති බව සඳහන් වෙයි.

මේ අතර 2021 වසරේ ජනවාරි මාසයේදී LVMH සමාගම සුප්‍රසිද්ධ Tiffany & Co. සමාගම එක්සත් ජනපද ඩොලර් බිලියන 16ක මුදලකට මිලදී ගත් අතර, එය එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ලොව වැඩිම මුදලකට මිලදී ගැනුණු සුඛෝපභෝගී වෙළෙඳ නාමය ලෙසද සැලකෙයි.

Visits: 816