සන්ෂයින් හෝල්ඩිංග්ස් ශත 50 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 50 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙහිදී එය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සිදු කරන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද හඳුන්වාදී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ දිනය ලෙස ලබන ජූලි 15 වැනිදා ප්‍රකාශ කෙරී ඇතිඅතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 28 වැනිදා නම් කෙරී තිබේ.

මෙහිදී අදාළ ලාභාංශ ගෙවීම සම්බන්ධ අවසන් තීරණය සමාගමේ කොටස්හිමිකරුවන් මගින් ලබා ගත යුතුව තිබේ. ඒ අනුව ඊට අදාළව පැවැත්වෙන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 25 වැනිදා සංවිධානය කෙරෙන බවත් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වූ පසුගිය 25 වැනිදා දිනය නිමාවේදී සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 24.40 ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊට පෙර දිනයේදී එම කොටසක වටිනාකම වූ රුපියල් 23.90ට සාපේක්ෂව ශත 50ක එනම් 2.09% ක ඉහළ යාමකි.

Visits: 173