X-Press Pearl නෞකාවෙන් පිට වූ අපද්‍රව්‍ය මීගමු වෙරළට

කොළඹ වරායට ආසන්න මුහුදේදී පිපිරීමක් සිදුව මේවනවිට ගිනි ගනිමින් පවතින විදෙස් රටකට අයත් X-Press Pearl නෞකාවේ බහාලුම් තුළ ගබඩාකර තිබූ අපද්‍රව්‍ය සහ නෞකාවේ තිබූ ඉන්ධන විශාල ප්‍රමාණයක් මේ වනවිට මීගමුව ආශ්‍රිත වෙරළ තීරය වෙත ගොඩගසමින් පවතින බව වාර්තා වෙයි.

මෙහිදී කපුන්ගොඩ, සෙත්තපාදුව වෙරළ තීරය වෙත වැඩිපුර අපද්‍රව්‍ය ගොඩගැසී තිබේ. ඒ අනුව මේ හරහා එම වෙරළ තීරය වෙත දැඩි විනාශයක් සිදු වෙමින් පවතින බවත් එයි ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

මෙම නෞකාවේ පැවැති ගින්න ඊයේ දිනයේදී වඩාත් දුරුණු වූ අතර, පිපිරීමක්ද සිදු විය. මෙම අවස්ථාවේදී නෞකාව එක් පැත්තකට පමණක් බරවීම හේතුවෙන් එහි තිබූ බහාලුම් කිහිපයක් සාගරයට වැටීමක්ද සිදු විය.

X-Press Pearl නෞකාව රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බව බලධාරීන් සඳහන් කරයි. මේ වනවිටත් ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ගිනි නිවන යාත්‍රා සහ සාගර දූෂණය වීම වළක්වන යාත්‍රා මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මෙහෙයුම් දියත් කරමින් සිටියි.

පවතින මේ තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේදී සිය ට්විටර් ගිණුම හරහා අදහස් දක්වා ඇති ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා, මේ වනවිටත් නෞකාවෙන් කාන්දුවන ඉන්ධන වෙරළට ඒම සීමා කිරීම සඳහා නෞකාව සහ මීගමුව කලපුව වටා ආරක්ෂිත ක්‍රමවේද යෙදවීමට ඉන්දියානු වෙරළ ආරක්ෂකයන් සහ අනෙකුත්බලධාරීන් පියවර ගෙන ඇතැයි සඳහන් කර තිබේ.

එසේම මෙම මීගමුව වෙරළ ආශ්‍රිත ජනතාවට වෙරළ වෙත යාමෙන් වැළැකී සිටින ලෙසටද උපදෙස් ලබා දී තිබේ.

Visits: 106