‘පීපල්ස් කැපිටල්’ සමාගමට එරෙහිව ‘මහජන බැංකුව’ වාරණ නියෝගයක් ලබා ගනී

‘පීපල්ස්’ යන නාමය භාවිතා කිරීමට එරෙහිව මහජන බැංකුව පීපල්ස් කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ක්‍රෙඩිට් (ප‍්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට හා එහි කළමනාකරණ අධ්‍යක්ෂ ෂන්මුගලිංගම් සුරේන්තිරන් නමැති තැනැත්තාට විරුද්ධව කොළඹ වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන ඇතැයි පවසයි.

වාණිජ මහාධිකරණය එම නියෝගය දී තිබුණේ ‘People’s’ යන නම භාවිතා කිරීමෙන් ඔවුන් පැහැදිලිවම සිය බැංකුවේ බුද්ධිමය දේපළ අයිතිය කඩකර ඇති බවට සඳහන් කරමින් බව මහජන බැංකුව සඳහන් කරයි.

“දිවයිනේ ප‍්‍රමුඛතම බලපත‍්‍රලාභි වාණිජ බැංකුවක් වන මහජන බැංකුව  1961 අංක 29 දරණ පනතින් ස්ථාපිත කළ අතර, පුරා හැට වසරක් මුළුල්ලේ අපේක්ෂා සපිරි ශී‍්‍ර ලාංකීකයින්ට බැංකු හා මූල්‍ය සේවා සපයයි. එමෙන්ම  දිවයින පුරා විහිදුනු ශාඛා හා සේවා මධ්‍යස්ථාන 741 කින් සහ 8000 කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතය.” මහජන බැංකුව පවසයි.

‘People’s’ යන නම වෙළඳ නාමය භාවිතා කරන  මහජන බැංකුවේ අතුරු සමාගම් කිහිපයක්ද  පවතී. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී සමාගම, පීපල්ස් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, පීපල්ස් ට‍්‍රැවල්ස් ලිමිටඩ්, පීපල්ස් ෆ්ලීට් මැනේජ්මන්ට් ලිමිටඞ්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට් ලිමිටඩ්, පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් ලිමිටඞ්, සහ පීඑල්සී යන සමාගම් ඒවා වෙයි.

යාපනය, ඔරලෝසු කණුව පාරේ සී පොන්නම්බලම් පාරේ පළමු මහළේ අංක 440/3 දරණ ස්ථානයේ පිහිටි පීපල්ස් කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ක්‍රෙඩිට් (ප‍්‍රයිවට්) ලිමිටඩ් සමඟ මහජන බැංකුවේ කිසිදු සම්බන්ධයක් නොමැති බැවින් මෙම නීතිමය පියවර ගැනීම සඳහා වහා කි‍්‍රයාත්මක වු බව මහජන බැංකුව වැඩිදුරටත් අවධාරණය කරයි.

Visits: 144