ඉෂාරගේ සෙලාන් බැංකුව – ධම්මිකගේ සම්පත් බැංකුවට සුභපතයි

මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව පසුගියදා මෙරට වඩාත් ආදරණීයම බැංකුව ලෙස තේරීපත්වීම සම්බන්ධයෙන් මෙරට තවත් ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවක් වන සෙලාන් බැංකුව සිය සුභපැතුම් එක් කර සිටියි.

පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරුණු බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා වර්ගීකරණය සමගින් එක්වෙමින් LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කෙරුණු LMD’s Brands Annual හි 2021 වසරේ වඩාත් ආදරණීයම බැංකුව ලෙස සම්පත් බැංකුව මෙලෙස නම් කෙරී තිබේ.

ඒ අනුව සෙලාන් බැංකුව සිය නිල ෆේස්බුක්, සහ ට්විටර් ගිණුම්වල සටහන් තබමින්, LMD සඟරාව මගින් සිදු කළ මෙම නම් කිරීම සම්බන්ධයෙන් සිය සුබපැතුම් සම්පත් බැංකුව පුද කර සිටියි. එහිදී සුහද හදක් ඇති සෙලාන් බැංකුව මගින් මෙම සුභ පැතුම් එක් කරන බව සඳහන් කර තිබේ.

“සම්පත් බැංකුව LMD හි වඩාත් ආදරණීයම බැංකුව ලෙස නම් කිරීම සම්බන්ධයෙන් සුහද හදක් ඇති සෙලාන් බැංකුව විසින් මෙලෙස සුබපැතුම් එක්කර සිටියි.” එහි සඳහන් වෙයි.

මෙහිදී එම සුභපැතුම් සම්බන්ධයෙන් පිළිතුරු සටහනක් තබා ඇති සම්පත් බැංකුවේ නිල ෆේස්බුක් පිටුව, සෙලාන් බැංකුව මගින් පිරිනැමූ හදපිරි සුභපැතුම් වෙත ස්තූතිවන්ත වන බවත්, ජාතියට සේවය කරන තවත් සහෝදර බැංකුවක් වෙතින් මෙවැනි අගයකිරීමක් හිමිවීම පිළිබඳව සතුටට පත්වන බවත් සඳහන් කර තිබේ.

පෙර සඳහන් කළ ආකාරයටම මෙරට මුල් පෙළේ පෞද්ගලික වාණිජ බැංකු දෙකක් වන සම්පත් බැංකුව සහ සෙලාන් බැංකුව වර්තමානයේදී ඉහළ වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන ශක්තිමත් බැංකු ලෙසටද හඳුනාගෙන තිබේ.

මේ අතරින් සම්පත් බැංකුවෙහි තනි වැඩිම කොටස් හිමිකාරීත්වය වැලිබල් වන් පීඑල්සී සමාගම වෙත හිමිව ඇති අතර එය 14.95% කි. වැලිබල් වන් පීඑල්සී සමාගමේ හිමිකරුවා වන්නේ මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාය.

එසේම සෙලාන් බැංකුවෙහි වර්තමාන කොටස්හිමිකාරීත්වය අතරින් 23%ක ප්‍රතිශතයක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සතුය. එහිදී බුවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත 13.8%ක ප්‍රතිශතයක් ලෙසද LOLC වෙත 9.36% ක ප්‍රතිශතයක් ලෙසද එය බෙදී ගොස් තිබේ. මෙම සමාගම් දෙකෙහිම වර්තමාන හිමිකරුවා වන්නේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතාය.

අද වනවිට ලංකාවේ ලොකුම පොහොසතා බවට පත්වීමේ තරගයේ මුලින්ම සිටින්නේද ධම්මික පෙරේරා සහ ඉෂාර නානායක්කාර යන දෙපළයි.

ඒ අනුව මෙය ඉෂාර නානායක්කාර මහතාගේ වැඩි කොටස් හිමිකාරීත්වය සහිත සෙලාන් බැංකුව විසින් ධම්මික පෙරේරාගේ වැඩි කොටස් හිමිකාරීත්වය සහිත සම්පත් බැංකුව වෙත සිදු කළ සුභපැතුම් එක් කිරිමක් ලෙස වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ සඳහන් කරති.

Visits: 620