රටේ කොවිඩ් තත්ත්වය සහ ඉදිරි නිවාඩු දින ආයෝජක ආකර්ෂණය පහත හෙළයි

අද (මැයි 20) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරතුරදී ආයෝජකයන් අතර තවදුරටත් කොටස් අලෙවි කිරීමේ ප්‍රවණතාවන් දැකගත හැකි වූ බව තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම රට තුළ COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යාම් ඊට හේතු වී ඇත.

එසේම මාසයේ අවසන් සතිය සඳහා පනවා ඇති විශේෂිත නිවාඩු මෙන්ම පොහොය නිවාඩුවද යනාදී කාරණා හේතුවෙන් ආයෝජකයන් තුළ කොටස් මිලදී ගැනීම සඳහා වන උනන්දුවද අද දිනයේදී පහත වැටී ඇත. කෙසේ වෙතත් දිනයේ අවසන් භාගයේදී පමණ වටිනා සමාගම්වල කොටස් මිලදී ගැනීම් සම්බන්ධයෙන් දැක්වූ ආයෝජක උනන්දුව දර්ශක අගයන් දරුණු කඩා වැටීමකින් ගලවා ගත් බවත් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 7,288.44ත් ඒකක 7,357.18ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,293.59ක් බවට පත්විය. එය ඊයේ (මැයි 19දා) දිනයට සාපේක්ෂව ඒකක 47.44ක් එනම් -0.65%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිදු වූ සම්පත් බැංකු ගණුදෙනුවක් දිනයේ සමස්ත පිරිවැටුමෙන් 1.8%ක් සඳහා දායකත්වයක් ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 51ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 99ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+3.5), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+1.45), ලංකා අයිඕසී පීඑල්සී LIOC (+0.84), එල්බී ෆිනෑන්ස් පීඑල්සී LFIN (+0.63), අමානා බැංකුව ABL (+0.59), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-5.38), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-5.32), කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (-4.08), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-2.38), වැලිබල් වන් පීඑල්සී VONE (-2.32) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,926.78ක අගයක් ගත් අතර, එය ඊයේ (19දා) ‍ට සාපේක්ෂව ඒකක 26.9 ක එනම් -0.91%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.31ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (19දා) වාර්තා කළ රුපියල් බිලියන 2.32ට සාපේක්ෂව 44% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.22ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 8.71%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 118.13ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 138.89ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 20.76කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 24.52ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සම්පත් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 11.95 කි. එසේම හේකාර්බ් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 16.54ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 337ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 26% ක අගයක් ගෙන තිබේ. එසේම නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 273ක සහ රුපියල් මිලියන 195ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 249