මහජන බැංකුවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත පියවර රැසක්

කොවිඩ් වසංගත තත්වය තුළ ඉදිරියේදී සිය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකයින්ට ඔක්සිජන් ලබාගැනීමේ අවශ්‍යතාවයක් හදිසියේ මතුවුවහොත් ඒ සඳහා අවශ්‍ය ලීටර් 6.8 ප‍්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර් හා කට්ටල වහා කි‍්‍රයාත්මක වන පරිදි සූදානම් කර තැබීමට මහජන බැංකුව පියවර ගෙන තිබේ.

එසේ ලබාගත් ඔක්සිජන් සිලින්ඩර සහ ඒවා කි‍්‍රයාත්මක වන අයුරු නීරික්ෂණය කිරීමට සභාපති සුජීව රාජපක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන් පසුගියදා කටයුතු කළ බව පවසයි. මෙම අවස්ථාවට වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු සහය සේවා) ලලිත් විතාන, අලෙවි ප‍්‍රධානී නාලක විජේවර්ධන, ලංකා බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාවේ නිලධාරී මහත්වරුන් ද සහභාගි වූහ.

යම් හෙයකින් බැංකුව තුළ කොවිඞ් 19 රෝගියෙකු හමුවුවහොත් රෝහල්ගත කරන තුරු ඔවුන් හුදෙකලා කර රඳවා තැබීමට මහජන බැංකු ප‍්‍රධාන කාර්යාලයේ විශේෂ වෛද්‍ය ඒකකයක් ස්ථාපිත කර තිබේ. එමෙන්ම කොවිඞ් 19 රෝගීන් ප‍්‍රවාහනය කිරීමට සහ සුව වූ රෝගීන් නිවසට රැගෙන යාමට දවසේ පැය විසිහතර පුරා කි‍්‍රයාත්මක විශේෂ ගිලන් රථයක්ද යොදවා තිබේ.

එහි අභ්‍යන්තරයද රියදුරා හා රෝගීන් වෙන්වන සේ, ජාත්‍යන්තර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සකසා තැබීම විශේෂත්වයකි. මේ වෙනුවෙන් තවත් ගිලන් රථයක් සූදානම් කිරීමට ද මේ දිනවල කටයුතු සිදුකෙරෙමින් පවතී. එමෙන්ම දිවයිනේ පුරා ශාඛාවන් ආවරණය වන පරිදි ප‍්‍රධාන ප‍්‍රාදේශිකයින් පහක පැය විසි හතර පුරා කි‍්‍රයාත්මක ගිලන් රථ සකසා ඇත.

මීට අමතරව මහජන බැංකුවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ කොළඹ 02, නවලෝක රෝහල විසින් පවත්වාගෙන යනු ලබන වෛද්‍ය මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කර ඇතැයි මහජන බැංකුව පවසයි.

Visits: 37