HNB 2021 පළමු කාර්තුව සඳහා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව 2021 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 4.7ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත් වී ඇති අතර එම කාල පරිච්ෙඡ්දය සඳහා බදු පෙර ලාභය (PBT) රුපියල් බිලියන 5.5ක් විය. මේ අතර HNB සමූහයේ බදු පසු ලාභය සහ බදු පෙර ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 5.9ක් හා රුපියල් බිලියන 4.8ක් ලෙස වාර්තා කිරීමට සමත් වී ඇත.

වසංගතය හේතුවෙන් දැඩි බලපෑමකට ලක් වූ ආර්ථිකය නැවත නගා සිටුවීමට මූල්‍ය තත්වය සඳහා සැලකිය යුතු ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් පසුගිය මාස 12 තුළ AWPLR අගය ආසන්න වශයෙන් පදනම් ලක්ෂ 400කින් පමණ පහළ දමන ලදී. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් පොළී ආදායම 2020 වසරට සාපේක්ෂව 13%කින් අඩු වී රුපියල් බිලියන 23.7ක් බවට පත් විය.

පසුගිය මූල්‍ය වර්ෂය සමග සැසඳීමේදී පොළී වියදම් ඒකකය 17.2%කින් පහළ ගොස් රුපියල් බිලියන 13.1‍ ක අගයක් වාර්තා කර ඇත. මේ සඳහා ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් පොළිය අතර වෙනස මනාව කළමනාකරණය කර ගැනීම ඉවහල් වී ඇත. මෙම ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් පොළී අනුපාතය 2020 මාර්තු මාසයේදී 36.2‍% සිට 39.7‍% දක්වා 2021 පළමු කාර්තුවේදී වර්ධනය වී ඇත. වාර්ෂික පදනම මත ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් පොළී අනුපාතයෙහි පදනම 30‍% කින් වර්ධනය වී රුපියල් බිලියන 395ක් බවට පත් වී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2021 පළමු මාස තුන සඳහා බැංකුවේ ශුද්ධ පොළී ආදායම (NII) පසුගිය වසරට සාපේක්ෂව 7.2%කින් අඩු වී රුපියල් බිලියන 10.6ක් විය.

මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා ‘‘පෙර නොවූ විරූ අභියෝග පැවති වසරක් අතරතුර HNB ඔරොත්තු දීමේ හැකියාව, ශක්තිමත් හා ස්ථාවර බව මැනවින් පෙන්වා තිබෙනවා. මේ කාලය පුරාවටම අපගේ ගනුදෙනුකාරභවතුන්, ආයෝජකයින් හා අනෙකුත් පාර්ශවකරුවන් අප කෙරෙහි තැබූ පූර්ණ විශ්වාසය හා ලබා දුන් සහයෝගය පිළිබඳව අප කෘතඥ වෙනවා. මෙම වසංගතය මගින් වරින් වර ඇති කළ බාධාවන් හරහා අපගේ ගනුදෙනුකාරභවතුන්ට අඛණ්ඩව සේවය කිරීම සඳහා අපගේ කාර්ය මණ්ඩලයේ වූ අසීමිත කැපවීම පිළිබඳව මා ඉතා ඉහළින් අගය කිරීමට කැමතියි. මෙම කාල පරිච්ෙඡ්දය තුළ අපගේ ප‍්‍රමුඛතාවය වූයේ කොවිඞ්-19 වසංගතයෙන් බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන්ට සහාය වෙමින් අපගේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමයි.

‘‘කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමකට ලක් වූ අංශ වෙත ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය යෝජනා ක‍්‍රම හා HNB තමන්ටම අයත් අභ්‍යන්තර අරමුදල්වලින් කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම් ලබා දෙන අතරතුර අදියර තුනක් යටතේ ණය පමා සහන සපයනු ලැබුවා. පසුගිය වසර තුළ සපයන ලද මෙම මූල්‍ය සහනවලට අමතරව මෙම වසංගතයෙන් ආරක්ෂා වන අතරම ගනුදෙනුකාරභවතුන්ට කිසිඳු බාධාවකින් තොරව ගනුදෙනු කිරීමේ පහසුව සහතික කිරීම සඳහා අපගේ ඩිජිටල් සේවා හා ගෙවීමේ විසඳුම් ද අප වැඩිදියුණු කරනු ලැබුවා. එහිදී HNB SOLO, අපගේ ප‍්‍රධානතම ඩිජිටල් ගෙවීම් යෙදවුම සඳහා නව විශේෂාංග රැසක් හඳුන්වා දීම හා අපගේ නව ඩිජිටල් බැංකු යෙදවුම දියත් කිරීම හා SME ගනුදෙනුකරුවන් සඳහා e-commerce හැකියාවන් පිහිටුවීම ඇතුළු බොහෝ දේවල් මීට ඇතුලත් වුනා. අප දැනටමත් මෙම නව ඩිජිටල් සේවා වැඩිදියුණු කිරීමේ ක‍්‍රියාවලියේ නිරතව සිටින අතර එමගින් සියලූම HNB ගනුදෙනුකාරභවතුන්ට අනාගතයේදී වැඩි පහසුවක් සලසනු නොඅනුමානයි.’’ යනුවෙන් පැවසුවේය.

මෙම කාල පරිච්ඡේදය තුළ ව්‍යාපාරික ක‍්‍රියාකාරකම් නැවත යතා තත්වයට පත් වීම නිසා පළමු කාර්තුව සඳහා ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 2020 වසරට සාපේක්ෂව 10.2%කින් වර්ධනය වී රුපියල් බිලියන 2.3ක් වී ඇත. ආනයන සීමාවන් අඛණ්ඩව පනවා තිබියදීත් ගාස්තුවලින් හිමිකර ගත් ආදායමෙන් විශාල කොටසක් ක්‍රෙඩිට් කාඞ්පත් ගනුදෙනු, වෙළෙඳාම හා පේ‍්‍රෂණවලට අයත් විය. අනෙකුත් ගාස්තු මූලයන්, විශේෂයෙන්ම ඩිජිටල් ව්‍යාපාරික සේවාවන්ට අයත් කාණ්ඩය පසුගිය වසරට සාපේක්ෂව 24.4%කින් වර්ධන වී ඇත. මෙම කාල පරිච්ෙඡ්දය තුළ සිදු වූ විනිමය අනුපාත වෙනස්වීම හා චලනයන්, හුවමාරු සහ ඉදිරි ගිවිසුම් සඳහා සැලකිය යුතු වර්ධනයක් ලබා ගැනීමට හේතු විය.

ඩොලරයේ පොළී අනුපාතවලට අනුකූලව හුවමාරු වාරික අඩු වීම නිසා 2020 වසරේ අදාල කාර්තුවට සාපේකෂව හුවමාරු පිරිවැය ද අඩු විය. ඒ අනුව බැංකුව රුපියල් බිලියන 1.9ක ශුද්ධ විනිමය ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර එය 2020 පළමු කාර්තුව හා සැසඳීමේදී 53%ක වර්ධනයකි. කොවිඞ්-19 වසංගතය හේතුවෙන් 2019 මූල්‍ය වර්ෂය සඳහා ප‍්‍රකාශිත ලාභාංශ ගෙවා ඇත්තේ 2020 දෙවන කාර්තුවේදී වන බැවින් 2020 අදාල කාල පරිච්ෙඡ්දය තුළ ලබා ගත් රුපියල් මිලියන 13 හා සැසඳීමේදී 2021 පළමු කාර්තුව සඳහා ආයෝජනවලින් ලද සමස්ත ලාභාංශ ආදායම රුපියල් මිලියන 421ක් විය.

Visits: 121