2021 හරිත බලශක්ති ශූරයා තරඟාවලියට අයදුම්පත් භාර ගැනීම මැයි 22 දක්වා

ශ්‍රී ලංකාවේ තිරසාර සංචලතාව, බලශක්ති කාර්යක්ෂමතාව සහ පුනර්ජනනීය බලශක්තිය යන අංශවල විප්ලවීය වෙනසක් සිදුකරන මීළඟ හරිත බලශක්ති ශූරයන් සොයා යාම සඳහා මේ වසර මුලදී දියත් කරන ලද 2021 හරිත බලශක්ති ශූරයා (Green Energy Champion) තරඟාවලිය සාර්ථකව ඉදිරියට යමින් පවතී.

දිවයින පුරා විසිරී පැතිරී සිටින සියලුම බලශක්ති නවෝත්පාදකයින් වෙත  විවෘත ආරාධනයක් අප්‍රේල් මාසයේ දී සිදු කරන ලද අතර, ඒ අනුව බලශක්ති කාර්යක්ෂමතාව සහ පුනර්ජනනීය බලශක්ති විසඳුම් භාවිතය ප්‍රවර්ධනය කරන නිර්මාණාත්මක හා නවෝත්පාදන උපාංග, ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට සියලුම ආරම්භක මට්ටමේ (startups) හෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මැයි මස 22 දක්වා අවස්ථාව පවතී.

2016 වසරේ දී මුල්වරට හරිත බලශක්ති ශූරතා තරඟාවලිය මෙරට දියත් කරන ලද්දේ විශේෂයෙන් මහජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලීම සඳහාශ්‍රී ලංකාව තුළ හරිත බලශක්ති විසඳුම් නව්‍යකරණය කිරීම හා ක්‍රියාත්මක කිරීම දිරිගැන්වීමේ අරමුණින් ය.

මෙහි පළමු අදියරයන් ත්‍රිත්වය සඳහා ඉතා විශිෂ්ට මට්ටමේ ප්‍රතිචාර හිමිවුණු අතර ගෘහස්ත මට්ටමින් පුද්ගලිකවත්, විශ්ව විද්‍යාල මට්ටමේ සිට පළාත් මට්ටමින් රාජ්‍ය මට්ටමින් මෙන්ම කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් දක්වා විශාල පිරිසකගේ සහභාගීත්වය හිමිවිය.

වසර ගණනාවක් පුරා මුද්‍රිත හා අන්තර්ජාල මාධ්‍ය හරහා බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සහ උනන්දු කිරීම සඳහා GEC වැඩසටහන ද වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය – සූර්ය සුළං හා ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා ඒකාබද්ධව ජර්මානු ෆෙඩරල් විදේශීය කාර්යාලය වෙනුවෙන් Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH, විසින් මෙම හරිත බලශක්ති ශූරයා තරඟාවලිය සංවිධානය කරනු ලැබේ.

මෙම වැඩසටහන පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට හෝ අයදුම් කිරීමට www.greenenergychampion.lk වෙත පිවිසෙන්න!

Visits: 53