ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය වෙත 2021 ප්‍රථම කාර්තුවේදී රු. බිලියන 2.1 බදු පසු ලාභයක්

පසුගිය වසරට සාපේක්ෂව 14.3% ක සුවිශේෂී වර්ධනයක් සහිතව බදු පසු ලාභය රු. බිලියන 2.1 ක් ලෙස වාර්තා කිරීම හැකිවූ බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය පවසයි. 2021 පළමු කාර්තුව සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල නිකුත් කරමින් එම සමූහය මේ බව පවසා සිටියි.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ සමූහයේ ආදායම රු. බිලියන 24.7 ක් දක්වා වර්ධනය වූ අතර එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 11.4% ක වර්ධනයකි. ෆයිබර් තාක්ෂණික සේවා, 4G LTE, ජංගම අන්තර්ජාල සේවා, PEO TV සේවා මෙන්ම ධාරක දේශීය (Carrier Domestic) සේවාවන් වල ප්‍රගතිය මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. ජාත්‍යන්තර ඇමතුම් ආදායම් වල පහළ යාමක් වාර්තා වන අතරම, ගෝලීය අන්තර් සේවා (Global Transit) සහ ගෝලීය දත්ත සේවාවන් පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව කැපීපෙනෙන ලෙස වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ මෙහෙයුම් ඉපයුම් ආන්තිකය (Earnings Before Interest, Tax, Depreciation and Amortisation – EBITDA) රු. බිලියන 9.7 ක, එනම් 13.6% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරන අතර, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ 38.6% ක් ලෙස වාර්තා වූ EBITDA ආන්තිකය ද මෙම මූල්‍ය ප්‍රකාශයට අදාළ කාලසීමාවේදී 39.4% ක් ලෙස වර්ධනය වී ඇත. ගෝලීය තාක්‍ෂණික ප්‍රවණතා සමග සමපාත වීම සඳහා දරන ලද ප්‍රාග්ධන වියදම් ක්‍රමයෙන් ඉහළ යාම, සමූහයේ ක්ෂයවීම සහ ලියාහැරීම් රු. බිලියන 6.3 දක්වා වැඩි කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 18.0% ක වැඩිවීමකි.

අදාළ කාලසීමාව තුළ ක්ෂය වීම් හා ලියාහැරීම් ඉහළ ගිය නමුත්, සමූහයේ EBITDA මට්ටම වර්ධනය වීම හේතුවෙන් සමූහයේ මෙහෙයුම් ලාභය පෙර වසරට සාපේක්ෂව 6.3% කින් වර්ධනය වී රු. බිලියන 3.4 මට්ටමට පැමිණ තිබේ. ලාභ හෝ අලාභ ප්‍රකාශයට අය කරන ලද පොලී වියදම් හා මූල්‍ය පිරිවැය අදාළ කාලසීමාව  තුළ රු. බිලියන 0.8 දක්වා ඉහළ ගොස් ඇති අතර, විදේශ විනිමය අලාභ රු. බිලියන 0.3 දක්වා පහළ ගොස් තිබේ. පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙම කාර්තුවේදී බදු පෙර ලාභය රු. බිලියන 2.8 දක්වා, එනම් 9.3% කින් වර්ධනය වී ඇත.

මෙහෙයුම් ඉපැයුම් මට්ටමේ (EBITDA) වර්ධනය සමග සාර්ථක හිඟ මුදල් එකතු කිරීමේ ක්‍රමෝපායන් නිසා, මෙම විශ්ලේෂණයට අදාළ කාලසීමාව තුළ, සමූහයේ මෙහෙයුම් මුදල් ප්‍රවාහය තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වී, රු. බිලියන 12.2 මට්ටමට පැමිණ තිබේ. එමෙන්ම, වාර්තා කරන දිනය වනවිට, දීර්ඝකාලීන ණය ගැනීම් රු. බිලියන 44.9 දක්වා අඩුකර ගැනීමට සමූහය සමත් වී ඇත.

සමූහයේ පරිපාලක සමාගම (Holding company), පසුගිය වසරේ අදාළ කාලපරිඡේදයට සාපේක්ෂව ආදායම 13.5% කින්, එනම් රු. බිලියන 14.2 දක්වා වර්ධනය කරගෙන තිබේ. සමාගමේ බදු පසු ලාභය රු. බිලියන 1.4 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය පෙර වසරට සාපේක්ෂව 16.2% ක වර්ධනයකි.

SLT සමූහ ව්‍යාපාරයේ ජංගම දුරකථන සේවා අංශය වන මොබිටෙල් (පුද්.) සමාගමද, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව ආදායමේ 8.1% ක් වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් වී ඇති අතර, මෙම කාර්තුව තුළ එම සමාගමේ ආදායම රු. බිලියන 11.6 කි. ආදායම වැඩිවීම සහ කාර්යක්ෂම වියදම් කළමනාකරණ ක්‍රමවේද භාවිතා කිරීම හේතුවෙන් මොබිටෙල් සමාගමේ බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 65.4% ක් වැනි විශාල ප්‍රතිශතයකින් වැඩිවී, රු. බිලියන 1.5 මට්ටමට පැමිණ තිබේ.

2021 වසරේ ප්‍රථම කාර්තුව තුළ සමූහය විසින්, අයබදු ඇතුළුව සෘජු හා වක්‍ර බදු ලෙස ශ්‍රී ලංකා රජයට රු. බිලියන 3.7 ක මුදලක් ගෙවා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා, “තවත් කාර්තුවකදී මේ ආකාරයට සාර්ථක ප්‍රතිඵල වාර්තා කිරීමට අපගේ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය සමත් වීම මට මහත් ආඩම්බරයක්. ආදායමේ සහ ලාභයේ ද්විත්ව ඉලක්කම් වර්ධනයක් සහ ශක්තිමත් මෙහෙයුම් මුදල් ප්‍රවාහයක් සමගින් ප්‍රථම කාර්තුව තුළ අපගේ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව ඉදිරියට ගමන්කර තිබෙනවා. මෙම කාර්තුවේ මෙතරම් සාර්ථකත්වක් අත්පත් කරගැනීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ, SLT-MOBITEL පොදු සන්නාමකරණය යටතේ අපගේ සමූහයේ විකුණුම් හා අලෙවි කටයුතු ඒකාබද්ධ කිරීමයි.  COVID-19 නිසා මතුවන අවිනිශ්චිතතා එලෙසම පැවතියත්, අපගේ ආයතනික වර්ධනය කෙරෙහි තවදුරටත් අවධානය යොමුකරමින්, වාසිදායක වෙළඳපොළ ප්‍රවණතා වලින් ප්‍රයෝජන ලබමින්, මෙහෙයුම් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරගනිමින් සහ සියලුම පාර්ශ්වකරුවන්ට වටිනාකම් තිළිණ කරමින් ඉදිරියට යාම අපගේ ඉලක්කයයි.” යනුවෙන් පවසා තිබේ.

Visits: 169