ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය FitsAir වෙනුවෙන් A320 මගී යානයක් කාර්ගෝ යානයක් බවට පත් කරයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය විසින් එයාර්බස් A330 සහ A320 මගී ගුවන් යානා ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා බවට පත්කිරීමේ කටයුතු අරඹා ඇතැයි පවසයි. එක්සත් රාජධානියේ Avensis Aviation සමඟ එළැඹුණු උපායමාර්ගික සහයෝගීතාවයක් යටතේ මෙම කටයුතු සිදු කෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

ඒ අනුව මේ යටතේ ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය නඩත්තු සේවා , අලුත්වැඩියා සහ පිරිපහදු සේවා (MRO) සැපයීම මේ වනවිට ආරම්භ කර තිබේ.

මෙම සහයෝගීතාවයේ පළමු කටයුක්ත ලෙස FitsAir ගුවන් සමාගම වෙනුවෙන් එයාර්බස් A320 ගුවන් යානයක් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පරිවර්තනය කිරීම සිදු කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි. එය මෑතකදී නියමිත වේලාවට හා නියමිත වූ පිරිවැය තුළ නිම කිරීමටද සමාගම සමත්ව ඇත.

ගුවන් සමාගමේ නඩත්තු හා ඉංජිනේරු අංශය EASA සහතිකලත් නඩත්තුව, මූලික නඩත්තුව සහ ඉංජිනේරු වැඩපළ සඳහා ද EASA සහතිකය හිමිකරගෙන තිබේ. මෙය ගුවන් යානා වෙනස් කිරීම හා භාණ්ඩ ගුවන් යානා බවට පරිවර්තනය කිරීමට අදාල නඩත්තු කටයුතු සිදුකිරීමට විදේශීය ගුවන් සමාගම් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමට මෙය ඉතා හොද උපායමාර්ගික ක්‍රියාවකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශ ප්‍රධානී ෂෙවන්ත වීරසේකර මහතා, “කෝවිඩ් වසංගතය හේතුවෙන් මගී ගමන් සීමා කිරීමත් සමඟ බොහෝ ගුවන් සමාගම් සහ ගුවන් යානා කල්බදු සමාගම් ඔවුන්ට අයත් මගී ගුවන් යානා භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා බවට පරිවර්තනය කරමින් සිටිනවා. ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විටත් තමන්ගේම ගුවන් යානයක් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පරිවර්තනය කර ඇති නිසාම මෙම සේවාව බාහිරව ලබා දීමට විශේෂ වූ දැනුමක් තියෙනවා. භාණ්ඩ පරිවර්තන වෙළඳපොළ වේගයෙන් වර්ධනය වෙමින් තියෙනවා . ඒම නිසා අපි නියම වේලාවට මේ සඳහා යොමු වුණේ. නවීකරණ අනුමත කිරීම් සහ ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමට Avensis Aviation අපට වඩාත් සුදුසු සහකරුවෙකු වෙයි. ” යනුවෙන් පවසයි.

Avensis Aviation හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ රුබින් ෆ්ලවර් මහතා සඳහන් කළේ සැහැල්ලු ‘LEVIS’ සිට ‘NAVIS’ පූර්ණ ගුවන් භාණ්ඩ පරිවර්තනය සඳහා EASA අනුමත කරන ලද වෙනස් කිරීම් හරහා නව්‍යකරනය කිරීම් සඳහා Avensis Aviation විසඳුම් ලබා දෙන බවයි.

FitsAir හි නියෝජ්‍ය ප්‍රධාන නිලධාරි අසිත රණවීර මහතා, “එය සරල ක්‍රියාවලියක් ලෙස පෙනුනද, කෝවිඩ් වලට අදාල නියාමන අනුකූලතාවයන් සමඟ දුරස්ථව වැඩ කිරීමට සිදුවීම, නිසා ව්‍යාපෘතිය තරමක් සංකීර්ණ වුණා. කෙසේ වෙතත්, ශ්‍රීලංකන් ඉංජිනේරු කණ්ඩායම එම කාර්යය වෙනුවෙන් පෙනී සිටිමින් ගුවන් යානයට විශිෂ්ට තත්ත්වයක් ලබා දීමට හොඳින් කටයුතු කළා”. යනුවෙන් පවසයි.

ශ්‍රී ලංකාව වෙත වැඩිදුරටත් ගුවන් යානා නඩත්තු කටයුතු ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය සහ Avensis හි තාක්ෂණික විකුණුම් කණ්ඩායම් ප්‍රවර්ධන කටයුතු ඉදිරියටත් කිරිමට බලාපොරොත්තුව සිටියි.

Visits: 84