විදුල්ලංකා ශත 13 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විදුල්ලංකා පීඑල්සී සමාගම සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළීබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව විදුල්ලංකා පීඑල්සී සමාගම මගින් නිකුත් කර තිබෙන සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 13ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කෙරෙන බව පවසයි.

මෙහිදී අධ්‍යක්ෂමණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති ලාභාංශ වටිනාකම රුපියල් 0.125ක් වන බවත් එය ආසන්න අගය වෙත වටයා මෙලෙස ශත 13ක් බවට පත් කර ඇති බවත් සමාගම සඳහන් කරයි.

2021/2022 මූල්‍ය වර්ෂය සඳහා සිදු කරන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද මෙය නම් කෙරී ඇත.

ඒ අනුව මෙම ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූනි 14 වැනිදා ප්‍රකාශයට පත් කෙරී තිබේ. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මැයි 21 වැනිදා සඳහන් කර තිබේ.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ කිසිදු අනුමැතියක් අවශ්‍ය නොවන බවත් විදුල්ලංකා පීඑල්සී සමාගම පවසයි.

Visits: 112