කේමන් දූපත්හි පිහිටුවා තිබූ The Sri Lanka Fund ඈවර කෙරේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සීහි පූර්ණ අනුබද්ධිත සමාගම් දෙකක් වන සිලෝන් ගාර්ඩියන් ඉස්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සී සහ සිලෝන් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී යන සමාගම් මගින් කේමන් දූපත්හි පිහිටුවා තිබූ The Sri Lanka Fund නම් ආයෝජන අරමුදල ඈවර කෙරුණු බව එම සමාගම් දෙක ඒකාබද්ධ නිවේදනයක් සිදු කරමින් දැනුම් දී සිටියි.

ඒ අනුව කේමන් දූපත්හි මුදල් අධිකාරිය විසින් 2021 මැයි 5 වැනිදා නිකුත් කළ ලිපියකට අනුව මෙම The Sri Lanka Fund අරමුදල වෙත ලබා දී තිබූ ලියාපදිංචි සහතිකය අවලංගු කරන බව දැනුම් දී ඇතැයිද සිලෝන් ගාර්ඩියන් ඉස්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සී සහ සිලෝන් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී යන සමාගම් කොළඹ කොටස් හුවමාරුව වෙත සඳහන් කර තිබේ.

කැරීබියානු මුහදු සීමාවෙහි පිහිටි මෙම කේමන් දූපත්හි පවතින අක් වෙරළ බදු සහන උපයෝගී කරගනිමින් ඩොලර් මුදල් ඒකකයෙන් ගනුදෙනු කෙරෙන අරමුදලක් ලෙස මෙම The Sri Lanka Fund පිහිටුවා තිබුණි.

එහිදී ඉහත සඳහන් කළ සමාගම් දෙක එම අරමුදලෙහි 43.34%ක එක සමාන හිමිකාරීත්වයක් දැරූ බවත්, ගාර්ඩියන් ෆන්ඩ් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගම එහි කළමනාකරුවා ලෙස කටයුතු කළ බවත් සඳහන් වෙයි.

1993 වසරේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ කර ඇති මෙම අරමුදල, 2010 අගෝස්තු මාසයේදී ගාර්ඩියන් ෆන්ඩ් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගම යටතේ යළිත් දියත් කෙරී ඇත. කොළඹ කොටස් හුවමාරුව වෙත විදෙස් ආයෝජකයන් ආකර්ෂණය මෙම අරමුදලේ අරමුණ.වී තිබේ.

2018 වසරේ අගෝස්තු මාසය අවසන් වනවිට මෙම අරමුදලේ විශාලත්වය එක්සත් ජනපද ඩොලර් මිලියන 2.23ක් පමණක් වූ බව පැවසෙයි.

එහිදී අරමුදලේ ඉහළම දායකත්වය කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සමාගම, හැටන් නැෂනල් බැංකුව, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ ඩයලොග් ආසිආටා යන සමාගම් මගින් දරා තිබුණි.

එහිදී සමස්ත අරමුදලෙන් 43%ක ප්‍රතිශතයක් කොළඹ කොටස් හුවමාරුවෙහි බැංකු, මූල්‍ය සහ රක්ෂණ අංශය තුළද, 14.4%ක ප්‍රතිශතයක් සමාගම් තුළද, 11%ක් ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය තුළද ආයෝජනය කර තිබී ඇත.

මෙම අරමුදල බදු සහන පවතින කේමන් දූපත්හි ලියාපදිංචි කර තිබීම හේතුවෙන් ඒ වෙත බදු ප්‍රාග්ධන බදු සහ ලාභාංශ බදු යන බදු අය වීමක් සිදු නොවුණු බවත් පැවසෙයි.

කෙසේ වෙතත් මෙම The Sri Lanka Fund අරමුදල තවදුරටත් ආයෝජක ආකර්ෂණය සහිත ස්ථානයක් නොවීමත් සමගින්ම එය ඈවර කිරීම සම්බන්ධයෙන් මීට පෙර සිටම අවධානය යොමු වී තිබුණි.

ඒ අනුව සිලෝන් ගාර්ඩියන් ඉස්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සී සහ සිලෝන් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී යන සමාගම් මගින් 2019 පෙබරවාරි මාසයේදී මෙන්ම 2020 පෙබරවාරි මාසයේදීද මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබී ඇත.

කේමන් දූපත් යනු අද වනවිට ලෝකයේ ආයෝජන අරමුදල් සඳහා මුල් පෙළේ ස්ථානයක් ලෙස ප්‍රකටව පවතී. එහි පවතින අක්වෙරළ බදු සහන ඊට හේතුවයි. ඒ අනුව ලෝකයේ අක්වෙරළ හෙජ් අරමුදල් අතරින් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් මෙම කේමන් දූපත්හි ස්ථාපිත කර ඇති අතර, එම අංශය තුළ ඇස්තමේන්තුගත එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.1ක වත්කම් අතරින් ආසන්න වශයෙන් අඩක් පමණ එහිදී කළමනාකරණය කෙරෙන බවත් සඳහන් වෙයි.

Visits: 609