සමාගම් කෙරෙහි ආයෝජක විශ්වාසය ඉහළ යෑමෙන් දර්ශක අගයන් අදත් ධන වෙයි

අද (මැයි 12) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු වඩාත් ශක්තිමත් අවස්ථාවක් සනිටුහන් කළ බව කොටත් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

එහිදී ආයෝජකයන් තුළ කැමැත්තක් සහිත සමාගම් සම්බන්ධයෙන් බලාපොරොත්තුවූ පමණටත් වඩා වැඩියෙන් පෙන්නුම් කළ කාර්යසාධනය නිසා ආයෝජකයන් තුළ එම සමාගම් සඳහා වන විශ්වාසය ඉහළ යාම සිදු විය. කෙසේ වෙතත් සති අන්තය සඳහා පැන වූ සංචරණ සීමාවන් සමගින් ආයෝජක සිතුවිලි යම් පමණකින් පහත වැටීමක් පෙන්නුම් කළ බවද එම සමාගම් සදහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,147.09ත් ඒකක 7,193.03ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,161.77ක් බවට පත්විය. එය ඊයේ (මැයි 11දා) දිනයට සාපේක්ෂව ඒකක 18.39ක් එනම් +0.26%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව කොමර්ෂල් බැංකුව, කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සහ ඩයලොග් ආසිආටා පීඑල්සී සිදු කළ ගනුදෙනු පිරිවැටුමෙන් 18.6%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 80ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 66ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (+3.91), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+3.74), මෙල්ස්ටාකොර්ප් පීඑල්සී MELS (+3.17), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+3.07), වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් WIND (+1.84), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.86), බුකිට්ඩරාහ් පීඑල්සී BUKI (-1.5), ෂාලිමාර් (මැලේ) පීඑල්සී SHAL (-1.23), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-1.23), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-1.04) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,850.43ක අගයක් ගත් අතර, එය ඊයේ (11දා) ‍ට සාපේක්ෂව ඒකක 7.03 ක එනම් +0.25%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.59ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (11දා) වාර්තා කළ රුපියල් බිලියන 1.17ට සාපේක්ෂව 37% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.16ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.73%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 193.25ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 312.27ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 119.02කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 24.55ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 57.39 කි. එසේම කොමර්ෂල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 136.05ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 435ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගෙන තිබේ. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ බැංකු අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 234ක සහ රුපියල් මිලියන 200ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 279