ප්‍රයිම් රෙසිඩෙන්සීස් මූලික මහජන කොටස් නිකුතුවට අධි ඉල්ලුමක්

ප්‍රයිම් සමූහයට අයත් ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් සමාගම මගින් අද (මැයි 11) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කළ මූලික මහජන කොටස් නිකුතුව (IPO) වෙත සාර්ථක අධි ඉල්ලුමක් හිමි වුණු බව එම සමාගම සඳහන් කරයි.

අදාළ නිකුතුවෙහි රෙජිස්තාර් ලෙස කටයුතු කළ සමාගම මගින් ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිරෙන්සීස් සමාගම වෙනුවෙන් කොළඹ කොටස් හුවමාරුව වෙත මේ බව දැනුම් දී තිබේ.

ඒ අනුව සිය මූලික මහජන නිකුතුව ලෙස කොටසක් රුපියල් 10.40 ක වටිනාකමින් යුතුව පළමුව සිදු කළ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 100,000,000ක නිකුතුව සඳහා සාර්ථක අධිඉල්ලුමක් හිමි වූ බව සඳහන් වෙයි.

මේ සමගම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයකට අනුව හෙට (12 වැනිදා පස්වරු 4.30ට මෙම නිකුතුව අවසන් කිරීමටද කටයුතු යොදා ඇතැයි පවසයි.

මේ අතර ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් මගින් පෙර සැලසුම් කළ ආකාරයටම දෙවැනි අවස්ථාව ලෙස  තවත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 87,500,000ක් නිකුත් කිරීමද හෙට දිනයේදී සිදු කරන බව සමාගම සඳහන් කරයි.

එහිදීද කොටසක වටිනාකම රුපියල් 10.40ක් ලෙස සටහන් කෙරී ඇත.

ඒ අනුව හෙට පස්වරු 4.30 වන විට ඉදිරිපත්ව තිබූ ඉල්ලුම් පත්‍ර පදනම් කරගනිමින් මෙම කොටස් බෙදා වෙන් කිරීමක් සිදු වන බවත් ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සමස්ත නිකුතුව හරහා සමාගම රැස් කරගැනීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 1.95 කි.

සමාගමේ ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සහ ඉදිරි ආයෝජන වෙනුවෙන් මෙම මුදල් යොදවන බව ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් සඳහන් කර සිටියි.

 

Visits: 560