සෙරෙන්ඩිබ් ලෑන්ඩ් පීඑල්සී 10 වැනිදා සිට දිරිසවි පුවරුවට

කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන පුවරුවෙහි ලැයිස්තුගත දේපළ වෙළෙඳ සමාගමක් වන සෙරෙන්ඩිබ් ලෑන්ඩ් පීල්සී සමාගම ලබන මැයි 10 වැනිදා සිට එහි දිරිසවි පුවරුවෙහි ලැයිස්තුගත වන බව ප්‍රකාශයට පත් කර සිටියි.

ඒ සඳහා වන ඉල්ලීම සමාගම මගින් කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත මීට පෙර ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා වන අනුමැතිය මේ වනවිට හිමිව තිබේ. සමාගම මගින් පළමුවරට මෙම ඉල්ලීම සිදු කර තිබුණේ 2018 වසරේදීය.

මෙලෙස සෙරෙන්ඩිබ් ලෑන්ඩ් පීඑල්සී සමාගම ප්‍රධාන පුවරුවෙහි සිට දිරිසවි පුවරුව වෙත හුවමාරු කිරීම සම්බන්ධයෙන් සිය කොටස්හිමිකරුවන් දැනුවත් කර තිබූ බව සමාගම මගින් අවසන් වරට නිකුත් කෙරුණු සිය මූල්‍ය වාර්තාවේද සඳහන් කර තිබේ.

සමාගමේ සභාපතිවරයා වන සෙගා නාගෙන්ද්‍ර මහතා විසින් මේ බව සිය කොටස්හිමිකරුවන් වෙත දැනුම් දී ඇති අතර, ප්‍රධාන පුවරුවෙහි ලැයිස්තුගත සමාගම් මගින් කොටස් හුවමාරුවෙහි අවම මහජන කොටස්හිමිකාරීත්වය සම්බන්ධ කාරණාවෙත අනුකූලතාව නොදැක්වීම මෙලෙස ඉන් සිය සමාගම ඉවත් කරගැනීමට හේතුව වබ සඳහන් කර තිබේ.

ඒ අනුව දැනට සමාගම මගින් පවත්වාගෙන යන අවම මහජන කොටස් හිමිකාරීත්වය දිරිසවි පුවරුවෙහි නියාමන කොන්දේසි සඳහා අනුකූලතාවක් දක්වන බවත්, මෙම වාර්ෂික වාර්තාව නිකුත් කෙරුණු 2020 ඔක්තෝබර් මාසය නිමාවට පත්වන විට කොළඹ කොටස් හුවමාරුවෙහි අනෙකුත් ලැයිස්තුගත නියමයන් සියල්ලම වෙත අනුකූලතාවක් දැක්වීමට සිය සමාගම සමත්ව ඇතැයිද එහිදී සඳහන් කර තිබුණි.

මේ අතර අදාළ යෝජිත හුවමාරුවට සමගාමීව සමාගම මගින් සිය ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 100ක් දක්වා වර්ධනය කරගැනීමේ අවස්ථාවක් පවතින බවත් සභෘපතිවරයා එහිදී පවසා තිබුණි. එහෙත් එම දිනය වනවිට සමාගම සතුව පැවතියේ රුපියල් මිලියන 36ක ප්‍රකාශිත ප්‍රාග්ධනයක් පමණකි. ඒ අනුව ඉතිරි ප්‍රාග්ධනය සම්පාදනය කරගැනීම සම්බන්ධයෙන් සිය අධ්‍යක්ෂ මණ්ඩලය අවධානය යොමු කර තිබෙන බවත් සභාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

2020 මාර්තු 30 වැනිදාට අනුව සෙරෙන්ඩිබ් ලෑන්ඩ් පීඑල්සී සමාගමේ වැඩිකොටස් හිමිකාරීත්වය ඉන්දියාවේ ගී ගීස් ප්‍රොපර්ටීස් පෞද්ගලික සමාගම වෙත හිමිව තිබේ. එය කොටස් 76,735ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 21.32%කි.

එසේම කොටස් හිමිකාරීත්වයෙන් දෙවැනි තැන ගීතාන්ජලී ගජලක්ෂ්මි (පෞද්) සමාගම වෙත හිමිව ඇති අතර එය කොටස් 76,697ක් එනම් 21.30%ක ප්‍රතිශතයකි. ගීතාංජලී සමූහ සමාගම වෙතත් කොටස් 67,992ක් හිමිව ඇති අතර එය 18.89%ක ප්‍රතිශතයකි.

මීට අමතරව ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම වෙත සහ AIA ඉන්ෂුවරන්ස් ලංකා පීඑල්සී සමාගම වෙතත් පිළීවෙලින් මෙහි කොටස් 46,254ක් සහ 25,714ක් හිමිව ඇත. එය ප්‍රතිශතයන් ලෙස පිළිවෙලින් 12.85%ක් සහ 7.14% කි.

Visits: 242