ආහාරයට ගන්නා පොල්තෙල්වලට වෙනත් තෙල් මිශ්‍ර කිරීම තහනම් කෙරේ

ආහාරයට ගනු ලබන පොල්තෙල් සඳහා වෙනත් කිසිදු තෙල් වර්ග හෝ වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බවට විධානයක් නිකුත් කරන බව රජය ගැසට් නිවේදනයක් මගින් පවසයි.

පාරිභෝගික අධිකාරියේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුක්තව මෙම නිවේදනය නිකුත් වී තිබේ.

සියලුම ආහාරයට ගන්නා පොල්තෙල් ආනයනකරුවන්, පිරිපහදු කරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස් කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් සහ වෙළෙදුන් වෙත මෙම නිවේදනය නිකුත් කෙරී ඇත. මෙම විධානය 2021 මැයි 07 වැනිදා සිට බලපැවැත්වෙන බවද අධිකාරිය සඳහන් කරයි.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (ආ) (iii) වගන්තිය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව කටයුතු කරමින් මෙම නිවේදනය නිකුත් කර තිබෙන බව මෙහි සඳහන් වෙයි.

ඒ අනුව බෝතල් කළ හෝ ඇසුරුම් කළ හෝ බහාලුම්ගතව තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකුණනු ලබන ආහාරයට ගන්නා පොල්තෙල්වලට මෙලෙස කිසිදු තෙල් වර්ග/වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව දැනුම් දී තිබේ.

Visits: 65