රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර අද ඇරඹේ

මෙරට හත්වැනි අධිවේගි මාර්ගය ලෙස ඉදි වෙන රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩ කටයුතු අද ආරම්භ කෙරෙන බව අධිවේගී මාර්ග පිළීබඳ අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සිදු කෙරෙන මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිට නව තාක්ෂණය භාවිත කරමින් සම්බන්ධවීමට නියමිතව ඇත.

යෝජිත රුවන්පුර අධිවේගි මාර්ගය දක්ෂිණ අධිවේගි මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදි කෙරේ. මේ ව්‍යාපෘතිය 2014 වර්ෂයේදී මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ යෝජනා වූ ව්‍යාපෘතියකි.

මේ රුවන්පුර අධිවේගි මාර්ගයේ සම්පූර්ණ දුර කි.මී. 73.9කි. එය අදියර තුනක් යටතේ බෙදා තිබේ. ඒ අතරින් පළමු අදියර කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් 24.3කින්ද, දෙවැනි අදියර ඉංගිරිය සිට රත්නපුර දක්වා කිලෝමීටර් 26.2 කින්ද, තෙවැනි අදියර රත්නපුර සිට පැල්මඩුල්ල දක්වා කිලෝමීටර් 21.4 කින්ද යුක්ත වෙයි.

මාගා ඉංජිනේරු සමාගම මඟින් ඉදි කිරීම් කටයුතු සිදු කරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 54.70ක් වැය වේ. ඉදි කිරීම් කාලය මාස 30කි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධිවේගී මාර්ග පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තිරසර රටක අභිවෘද්ධිය වෙනුවෙන් පවතින රජයේ මහා මාර්ග පිළිබඳ වගකීම බව ප්‍රකාශ කරයි.

Visits: 171