කොමර්ෂල් බැංකුව ‘FC Plus’ ගිණුමේ වාර්ෂික පොලී අනුපාතය 4.5%ක් දක්වා ඉහළ දමයි

කොමර්ෂල් බැංකුවේ FC Plus ගිණුම ඔස්සේ ශ‍්‍රී ලාංකේය පුද්ගලික විදේශ මුදල් (PFC) ගිණුම් හිමියන්ට ලබාදෙන පොලී අනුපාතය කැපී පෙනෙන ලෙස වැඩි කිරීමට තීරණය කර ඇතැයි පවසයි.  

මේ අනුව, කොමර්ෂල් බැංකුවේ ‘FC Plus’ විදේශ මුදල් ගිණුමක් ආරම්භ කරන පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් තැන්පතු සඳහා 4.5% ක් දක්වා වාර්ෂික පොලී අනුපාතයක් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.  

මෙහිදී, ගනුදෙනුකරුවාට පොලී මුදල් සඳහා නැවත පොලී ආදායමක් ලබාගැනීමට අවස්ථාව ලබාදෙමින් දිනයේ තිබෙන ශේෂයට පොලිය ගණනය කරන බවත් එම පොලී මුදල් ගනුදෙනුකරුවාගේ ගිණුමට මාස්පතා බැර කරන බවත් බැංකුව ප‍්‍රකාශ කරයි. අනිකුත් විදේශ මුදල් ගිණුම් සමඟ සසඳන විට මෙම විදේශ මුදල් ගිණුමේදී විදේශ මුදල් ඉතිරිය වර්ධනය වන බවත් විදේශ තැන්පතු පොලී අනුපාත වලට වඩා වැඩි ප‍්‍රතිලාභයක් මෙමගින් ලබාගත හැකි බව බැංකුව පවසයි.

FC Plus ගිණුමේ පොලී අනුපාතය විදේශ මුදල් පොලී අනුපාත සඳහා ජාත්‍යන්තරව පිළිගත් මිණුම් ලකුණ වන ලන්ඩන් අන්තර් බැංකු පොලී අනුපාතය (LIBOR) සමග සම්බන්ධ කර තිබෙන අතර ගිණුමේ ශේෂයේ වර්ධනය සමඟ පොලී අනුපාතය ඉහළ යන ලෙස මෙම ගිණුම සකස් කර තිබේ. මෙම පොලී අනුපාත මාස්පතා සමාලෝචනයට ලක්කරන බව බැංකුව සඳහන් කරයි.  

ගනුදෙනුකරුවන්ට තමන්ට අරමුදල් ලැබුණු මූලාශ‍්‍රය වලංගු කිරීමෙන් අනතුරුව මෙම ගිණුමට විදේශ මුදල් නෝට්ටුද තැන්පත් කළ හැකි අතර මෙම අරමුදල්  ඕනෑම අවස්ථාවක නැවත ලබාගත හැකිබව බැංකුව පවසයි. 

මෙම ගිණුම ඇමරිකානු ඩොලර්, යූරෝ, ස්ටර්ලින් පවුං සහ  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් යන විදේශ මුදල් වර්ග හතරෙන් 5000 ක අවම වටිනාකමකින් ආරම්භ කළ හැකි අතර ගනුදෙනුකරුවන්ට ලැබෙන පොලී අනුපාතය වෙනස් වන්නේ ශේෂය 50,000 ක් දක්වා හෝ 50,001-100,000 අතර හෝ 100,001 ට වඩා වැඩි යන පදනම මතයි.

මෙම ගිණුම් හිමියන්ට පාස්පොතක් නඩත්තු කිරීමට අවශ්‍ය නොවන අතර කලින් කලට ඔවුන්ට ගිණුම් වාර්තාලබාගත හැකිවේ. මෙම ගිණුම් හිමියන්ට Cirrus හෝ Visa ජාලයේ තිබෙන මිලියන ගණනක ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය ඔස්සේ සහ අන්තර්ජාල බැංකුකරණය ඔස්සේ ලෝකයේ  ඕනෑම ස්ථානයක සිට ඉතාමත් පහසුවෙන් දිනයේ පැය විසිහතර පුරා තම ගිණුමට ප‍්‍රවේශවිය හැකිය.

Visits: 263