SDB බැංකුවේ රු.බි. 4ක් වටිනා දෙවැනි මහජන කොටස් නිකුතුව ජූනි මාසයේදී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සණස සංවර්ධන බැංකුව විසින් ලබන ජූනි මාසයේදී විශේෂිත දෙවැනි මහජන කොටස් නිකුතුවක් (SPO) සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව පවසයි.

එම බැංකුව මගින් නිකුත් කළ 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව තුළ සටහනක් තබමින් බැංකුවෙහි වත්මන් සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා මෙම කරුණු සඳහන් කර තිබේ.

පසුගිය මාසයේදී බැංකුව මෙම දෙවැනි මහජන කොටස් නිකුතුව පිළිබඳව අනාවරණය කළ අතර එහිදී නිකුත් කරන කොටස් ප්‍රමාණය පිළිබඳව සඳහන් කළත්, කොටසක වටිනාකම හෝ ඒ හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණය පිළිබඳව සඳහන් කර නොතිබුණි.

“2021ජූනි මාසයේදී සිදු කරන විශේෂිත දෙවැනි මහජන කොටස් නිකුතුවක් හරහා රුපියල් බිලියන 4ක මුදලක් රැස් කරගැනීමේ සැලසුම් මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. මේ හරහා බැංකුවෙහි ප්‍රාග්ධන පදනම ශක්තිමක් කෙරෙනු ඇති අතර එය අපගේ දිගුකාලීන ක්‍රමෝපාය වෙත සහායක් දක්වනු ඇති.” සභාපතිවරයා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වා ඇති සභාපතිවරයා, “එසේම මෙම ප්‍රාග්ධන පදනම ICRA Lanka වර්ගීකරණ ආයතනය සහ Fitch Ratings ආයතනය මගින් බැංකුව සඳහා නිකුත් කර ඇති BBB- වර්ගීකරණය සහ BB- වර්ගීකරණ මට්ටම් එලෙසින්ම රඳවාගෙන යාමට හැකියාව ලැබේවි. එය 2020 වසරේ සාර්වආර්ථික කඩාවැටීම්වලට එදිරිව යමින් බැංකුවෙහි මූල්‍යමය ස්ථාවරත්වය පෙන්නුම් කිරීමේ අවස්ථාවක් වේවි.” යනුවෙන්ද සඳහන් කර තිබේ.

සණස සංවර්ධන බැංකුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී හිමිකම් කොටස් නිකුතුවක් සිදු කළ අතර ඒ සඳහා අධි ඉල්ලුමක් හිමි විය.

මෙම හිමිකම් නිකුතුව සඳහා ඉදිරිපත් වෙමින් බැංකුව වෙත රුපියල් බිලියන 1.5ක ආයෝජනයක් සිදු කළ සියලු දෙනා වෙතත් සභාපතිවරයා සිය ලිපිය තුළ ස්තූතිය පුද කර තිබේ.

සණස සංවර්ධන බැංකුව විසින් සැලසුම් කර ඇති මෙම ද්විතියික මහජන කොටස් නිකුතුවේ පළමු නිකුත් කිරීම ලෙස බැංකුවෙහි නව ඡන්ද හිමි කොටස් මිලියන 68ක් (68,000,000ක්) නිකුත් කිරීම සැලසුම වි තිබේ.

ඒ සඳහා ඉදිරිපත් වන වන අධි ඉල්ලුමත් සමගින්ම තවත් නව ඡන්ද හිමි කොටස් මිලියන 20ක් (20,000,000ක්) නිකුත් කිරීමට සැලසුම් කරන බවත් සණස සංවර්ධන බැංකුව පවසා තිබේ.

ඒ අනුව මෙම ද්විතියික මහජන කොටස් නිකුතුව හරහා සිදු කෙරෙන සමස්ත ඡන්ද හිමි කොටස් ප්‍රමාණය මිලියන 88 ක් (88,000,000ක්) ලෙස සටහන් වෙයි.

Visits: 406