කොවිඩ්-19 නිසා 2020දී ශ්‍රම වෙළෙඳ පොළ දර්ශකයන්හි පසු බැසීමක්

රට පුරා මෙන්ම ලොව පුරාද ව්‍යාප්ත වුණූ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ආර්ථික කටයුතු වෙත එල්ල වූ බලපෑම නිසා 2019 වසරට සාපේක්ෂව පසුගිය 2020 වසරේදී මෙරට ශ්‍රමබලකා දර්ශකය තුළ කැපී පෙනෙන පසුබැසීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2019 වසරේදී මිලියන 8,592ක් වූ ශ්‍රම බලකාය 2020 වසරේදී 8,467ක් දක්වා අඩු වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2020 වසරේදී මෙරට තුළ ආර්ථික වශයෙන් සක්‍රීය නොවන ජනගහනය මිලියන 8,273ක් බවට පත්ව තිබේ. එය 2019 වසරේදී මිලියන 7,832ක් ලෙස සටහන්ව තිබුණි.

මේ සමගම 2019 වසරේදී මෙරට පැවැති ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය වූ 52.3% ක ප්‍රතිශතය 2020 වසරේදී 50.6% ක ප්‍රතිශතයක් දක්වා අඩු වී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස 2020 වසරේදී මෙරට සේවා නියුක්ත ජනගහනය මිලියන 7,999ක් බවට පත්ව ඇති අතර, එය 2019 වසරේදී වාර්තා වූ මිලියන 8,181ට සාපේක්ෂව යම් අඩුවීමකි.

ඒ අනුව මෙම කරුණු සියල්ලගේම ප්‍රතිඵලයක් ලෙස 2019 වසරේදී පැවැති මෙරට සේවා වියුක්ති අනුපාතිකය 4.8%ක ප්‍රතිශතය  2020 වසරේදී 5.5% ක් දක්වා ඉහළ නැග ඇත. 2009 වසරෙන් පසුව ප්‍රථම වරට සේවා වියුක්ති අනුපාතිකය 5% ඉක්මවූ අවස්ථාව මෙය බවත්මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම වසංගතය හේතුවෙන් ඇති වූ අවිනිශ්චිතතා මෙලෙස ශ්‍රම බලකා දර්ශකයන්හි පසුබැසීම්වලට හේතුව වී ඇත.

කෙසේ වෙතත් වසංගත සමයේදී සේවා වියුක්ති අනුපාතිකයේ බලාපොරොත්තු වූ තරම් ඉහළ යෑමක් දක්නට නොලැබුණු බවද මහ බැංකුව පවසයි. මේ සඳහා රැකියා අහිමි වූ පුද්ගලයන්, පැවැති වාතාවරණය යටතේ තාවකාලික හෝ ස්ථිර වශයෙන් රැකියා අවස්ථා සෙවීම නතර කිරීම සහ නව රැකියා අවස්ථා නොයෙදීම නිසා සේවා නියුක්ත ජනගහනයේ මුළු අඩුවීම සේවා වියුක්ත ජනගහනයට පරිවර්තනය නොවීම ඊට හේතුවී තිබේ.

Visits: 248