SLT-MOBITEL සහ Epic Technology එක්ව “හෙළවිරු” ඩිජිටල් වෙළෙඳපොල හඳුන්වා දෙයි

SLT-MOBITELසහ Epic Technology Group එක්ව මෑතකදී “හෙළවිරු” කෘෂි නිෂ්පාදන සහ කෘෂි වෙළෙඳ භාණ්ඩ අලෙවි සහ හුවමාරු ඩිජිටල් වෙළෙඳපොල හඳුන්වා දෙනු ලැබීය. මෙම නව ඩිජිටල් වෙළෙඳපොල ඔස්සේ පුළුල් පාරාසයක කෘෂි නිෂ්පාදන සහ කෘෂි වෙළෙඳ භාණ්ඩ පාර්ශව රැසක් සමඟ අලෙවි කටයුතු කිරීමේ සහ හුවමාරු කරගැනීමේ අවස්ථාව උදාවේ.  

“හෙළවිරු” මඟින් ගොවීන්ට සහ වගාකරුවන්ට සිය නිෂ්පාදන කඩිනමින් සාධාරණ මිලකට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ, භෞතික වෙළෙඳපොලකට පැමිණීමකින් තොරව අලෙවි කරගැනීමට අවස්ථාව නිර්මාණය කර දී තිබේ. වසංගත තත්ත්වය හමුවේ ගොවීන් හට තම අස්වැන්න විකුණා ගැනීමට අවහිරතා පවතින මෙවන් අවධියක මෙවැනි සේවාවක් ඉතාමත් ප්‍රයෝජනවත් වේ. 

Epic Technology Groupවිසින් “හෙළවිරු” ඩිජිටල් වෙළෙඳපොල සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම කරනු ලැබූ අතර, SLT-MOBITEL වෙතින් එහි ඩිජිටල් බලගැන්වීම සිදුකරනු ලබයි. එමෙන්ම SLT හි අති නවීන දත්ත මධ්‍යස්ථානය මඟින් සමාගම් දෙක සම්බන්ධීකරණය කරමින් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කරයි.  

මේ අතර LAUGFS සුපර්මාකට් පුද්ගලික සමාගම සහ Softlogic Holdings PLC සමාගම්  ද මෙම වැඩසටහනට සම්බන්ධ වී සිටියි.  ඒ අනුව එම සමාගම් හරහා, “හෙළවිරු” ඩිජිටල් වෙළෙඳපොල කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලෙන්නන් අතර ප්‍රවර්ධනය කිරීමත්, ඔවුන්ට මෙම වැඩසටහන් සමඟින් සක්‍රීයව සම්බන්ධ කරවීමත් සිදුකරයි.  

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා මෙම නවතම ඩිජිටල් වෙළෙඳපොල වෙත සිය පූර්ණ සහයෝගය දක්වන බව සඳහන් කළේය. “පුරාතනයේ සිටම කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ ප්‍රධානම අනන්‍යතාවයක්ව පැවතුණා. එමෙන්ම එය අපේ ආර්ථිකයේ කොඳු නාරටියක් ලෙස පැවතුණා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ බලාපොරොත්තු වන්නේත් ඉතා ඵලදායී ආර්ථිකයක් බිහිකිරීමයි. ඒ අනුව මෙරට කෘෂි වටිනාකම් දාමය Helaviru.lk ඔස්සේ ඩිජිඩල්කරණය කරමින්, කෘෂි නිෂ්පාදන සහ කෘෂි වෙළෙඳ භාණ්ඩ ඩිජිටල් වෙළෙඳ පොලක් ඔස්සේ අලෙවි කිරීමට ඉඩ සලසා දීමට හැකිවීම පිළිබඳව SLT-MOBITEL බෙහෙවින් ආඩම්බර වෙනවා” යනුවෙන් සෙනෙවිරත්න මහතා පැවසීය.  

තවද ඔහු වැඩි දුරටත් සදහන් කරමින් පැවසුවේ “ජාතික තොරතුරු සන්නිවේදන සේවා සැපයුම්කරුවා වශයෙන් මෙම වෙළෙඳපොල පවත්වාගෙන යාමට අවශ්‍ය ඩිජිටල් යටිතල් පහසුකම් සැපයීමටත්, එමගින් කෘෂි කාර්මික ප්‍රජාවට සහය වීමටත් අවශ්‍ය තොරතුරු සන්නිවේදනය කරමින් මෙම ඩිජිටල් වෙළෙඳපොලට සම්බන්ධ වීමට හැකිවීම පිළිබඳ SLT-MOBITEL ඉතාම ආඩම්බර වෙනවා. මේ හරහා ශ්‍රී ලංකාව යළිත් පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කිරීම සඳහා සහායවීමට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙනි. 

මෙම වැඩසටහනට සිය දායකත්වය ලබාදීමට අතිරේකව LAUGFS සුපර්මාකට් පුද්ගලික සමාගම “හෙළවිරු” හි ප්‍රමුඛතම ගැනුම්කරුවෙකු ද වේ. එමෙන්ම Softlogic Holdings PLC සතු GLOMARK සුපරි වෙළෙඳසැල් ජාලයද “හෙළවිරු” හි ප්‍රධාන ගැනුම්කරුවෙකු ලෙස ඉදිරිපත්ව තිබේ. මීට අමතරව මෙරට ප්‍රමුඛතම විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවිකරුවා මෙන්ම දිවයිනේ පුළුල්ම අලෙවිජාලයට හිමිකම් කියන SoftlogicRetail පුද්ගලික සමාගම සිය අලෙවිසැල් ඔස්සේ “හෙළවිරු” ඩිජිටල් වෙළෙඳපොල ප්‍රවර්ධනය කිරීමටත් පියවරගෙ ඇත.  

Softlogic Retail වෙතින් හෙළවිරු පාරිභෝගිකයින්ට විශේෂ මිල ගණන් සහ පොලි රහිත ගෙවීමේ ක්‍රම සහ පාරිභෝගිකයින්ට ගැලපෙන ආකාරයේ මිලදී ගැනීමේ ක්‍රම සඳහා ඉඩ සලසාදී තිබේ.   

කෘෂි නිෂ්පාදන සහ කෘෂි උපකරණ සැපයුම් දාමයේ සියලුම කණ්ඩායම් එක ඩිජිටල් වෙළෙඳපොලක් වෙත ගෙන එමින්, එම ක්ෂේත්‍රයේ පවතින බාධක අවම කරමින් කෘෂි නිෂ්පාදන සැපයුම්දාමයේ අපතේයාම් අවම කරමින් ද, වැදගත් තොරතුරු සියලු පාර්ශවයන් අතරේ කඩිනමින් බෙදාදීම ඔස්සේ දේශීය කෘෂි ක්ෂේත්‍රය වර්ධනය කිරීමට Helaviru.lk  හි අරමුණ වී ඇත.  

Visits: 243