2021 මූල්‍ය වර්ෂයේදී එක්ස්පෝ ලංකා වෙත රු.බිලියන 14.8ක බදු පසු ලාභයක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ප්‍රධාන පෙළේ සමාගමක් වන එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය 2021 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 14.8ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇතැයි පවසයි.

මාර්තු 31 වැනිදායින් අවසන් එම මූල්‍ය වර්ෂය වෙනුවෙන් සිය අතරමැදි මූල්‍ය ප්‍රකාශනය ඉදිරිපත් කරමින් එම සමාගම මෙම කරුණු අනාවරණය කර සිටියි.

ලැයිස්තුගත සමාගම් අතරින් සම්පූර්ණ මූල්‍ය වර්ෂය සඳහාම අතරමැදි දත්ත වාර්තාවක් ඉදිරිපත් කිරීමට සමත් වූ පළමු සමාගම ලෙසද එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සැලකෙයි.

මේ අතර, පසුගිය 2020 මූල්‍ය වර්ෂයේදී සමාගම මගින් රුපියල් මිලියන 438ක පාඩුවක් ලබා සිටිද්දී මෙම මූල්‍ය වර්ෂයේදී මෙලෙස සාර්ථක ප්‍රතිඵල පෙන්වීමට එක්ස්පෝ ලංකා සමත්ව තිබීම කැපී පෙනෙන බව වෙළෙඳ පොළ විචාරකයෝ පවසති.

විශේෂයෙන්ම පසුගිය වසරේදී බලපෑ COVID-19 වසංගත තත්ත්වය ලොව පුරා භාණ්ඩ ප්‍රවාහන අංශයේ වර්ධනය වෙත දැක් වූ ඉහළ දායකත්වය මෙන්ම ඉහළ ගිය මිල ගණන්ද එක්ස්පෝ ලංකා සමාගමේ ආදායම් මෙන්ම බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව ඉහළ යාමට හේතුව වී තිබේ.

මෙම වාර්තාවට අනුව 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ සිව්වැනි කාර්තුවේදී සමූහයේ ආදායම රුපියල් බිලියන 75.5ක් ලෙස සටහන්ව ඇත. එය 2020 මූල්‍ය වර්ෂයේ අවසන් කාර්තුවේදී සමූහය රැස් කරගත් ආදායම මෙන් 218% වර්ධනයකි. එසේම මෙම කාර්තුව තුළදී සමූහයේ දළ ලාභය රුපියල් බිලියන 11.9ක් ලෙස සටහන් වන අතර බදු පසු ලාභය රුපියල් බිලියන 4.0 ක් ලෙස සටහන්ව ඇත.

ඒ අනුව මෙම අවස්ථාවන් සියල්ලම සමගින් 2021 මූල්‍ය වර්ෂයේදී සමූහය මගින් උත්පාදනය කර ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 218.7ක් වන බවත් එහිදී රුපියල් බිලියන 38.48ක දළ ලාභයක් හිමි කරගැනීමට සමත්ව ඇති සමූහයේ බදු පසු ලාභය රුපියල් බිලියන 14.8 ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී සමූහයේ ප්‍රධානම ව්‍යාපාර අංශය වන ලොජිස්ටික් සේවා හරහා මෙම සිව්වැනි කාර්තුවේදී හිමි කරගෙන ආදායම රුපියල් බිලියන 74.9 කි. එහිදී රුපියල් බිලියන 11.7ක දළ ලාභයක් ඉන් හිමිව ඇති අතර එම අංශයේ බදු පසු ලාභය රුපියල් බිලියන 4.5කි.

“ගුවන් භාණ්ඩ කළඹ තවදුරටත් මෙම අංශයේ ලාභය වෙනුවෙන් ඉහළ දායකත්වයක් සැපයුවා. එසේම නෞකා භාණ්ඩ ප්‍රවාහන අංශය මෙම වසර තුළදී ඉතාමත් ශක්තිමත් සාර්ථකත්වයක් ගොඩනැගුවා.” යනුවෙන් එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී හනීෆ් යුසූෆ් පවසයි.

මේ අතර සමූහයේ ලෙෂර් අංශය තුළ තවදුරටත් පවතින කඩා වැටීම එලෙසින්ම පවතින බවත්, ඉදිරියේදී සිදු කරන ගුවන් තොටුපොළ විවෘත කිරීම සහ සංචරණ සීමා කිරීම් ලිහිල් කිරීම් මෙම අංශයේ ව්‍යාපාර මෙහෙයුම්හි දියුණුවක් සඳහා දායකත්වයක් ලබා දෙනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

මේ අතර එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් හි ආයෝජන අංශය මෙම මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුවේදී එහි ආදායම වෙනුවෙන් රුපියල් මිලියන 462ක දායකත්වයක් ලබා දී තිබේ. එහිදී අපනයන මෙහෙයුම් හරහා එහි වැඩිම දායකත්වයක් ලබා දී ඇතැයිද සමාගම සඳහන් කරයි.

Visits: 728