2020දී සිලෝන් ටොබැකෝ කාර්යසාධනයේ අඩුවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මුල් පෙළේ සමාගමක් වන සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී (ලංකා දුම්කොළ සමාගම) 2020 වසරේදී වාර්තා කළ කාර්යසාධනය 2019 වසරට සාපේක්ෂව කැපී පෙනෙන පසු බැසීමක් පෙන්නුම් කර ඇතැයි පවසයි.

එම සමාගම මගින් පසුගියදා නිකුත් කළ නිකුත් කෙරුණු 2020 වසරේ මූල්‍ය වාර්තාව තුළ මේ පිළිබඳ සටහන්ව තිබේ. The Next Step ලෙස මෙවර වාර්ෂිකව වාර්තාව නම් කෙරී ඇත.

එහි සඳහන් ආකාරයට 2020 වසරේදී සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම වාර්තා කර ඇති සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 132,149 කි. එනම් බිලියන 132කි. කෙසේ වෙතත් 2019 වසරේදී සමාගම රුපියල් මිලියන 141,342ක පිරිවැටුමක් ලබා ගැනීමට සමත්ව ඇත. ඒ අනුව එය රුපියල් මිලියන 9,193ක (බිලියන 9ක) අඩුවීමකි.

එසේම 2020 වසරේදී සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී ලබා ගෙන ඇති ආදායම රුපියල් මිලියන 32,073කි. එය 2019 වසරේදී සමාගම වාර්තා කළ රුපියල් මිලියන 35,524ක ආදායමට සාපේක්ෂව මිලියන 3,451ක අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

මේ අතර සමාගම මගින් 2020 වසරේදී වාර්තා කර තිබෙන බදු පෙර ලාභය රුපියල් මිලියන 25,434කි. එය 2019 වසරේදී වාර්තා කළ රුපියල් මිලියන 28,691ක බදු පෙර ලාභයට සාපේක්ෂව රුපියල් මිලියන 3,257 ක අඩු වීමකි.

ඒ අනුව සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම මගින් 2020 වසරේදී වාර්තා කර තිබෙන බදු පසු ලාභය රුපියල් මිලියන 15,578කි. එය 2019 වසරේදී වාර්තා කළ බදු පසු ලාභය වූ රුපියල් මිලියන 17,259 ට සාපේක්ෂව රුපියල් මිලියන 1,681ක අඩුවීමකි.

විශේෂයෙන්ම පසුගිය වසරේ මාර්තු මාසයේ සිට රට වෙත බලපෑ COVID-19 වසංගත තත්ත්වය මෙම සමස්ත කාර්යසාධනයේ පසුබැසීම සඳහා හේතු වී තිබේ.

2020 වසරේදී සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී පෙන්නුම් කළ මෙම කාර්යසාධනය සම්බන්ධයෙන් අදහස් දක්වන එහි වත්මන් සභාපති සුරේෂ් කුමාර් ෂා මහතා, &මෙම අභියෝගාත්මක වසරේදී සමාගම පෙන්නුම් කළ කාර්යසාධනය හරහා සමාගමේ නායකත්වයේ සහ එහි සේවකයන්ගේ ඇති හැකියාව, කඩිසර බව සහ ප්‍රත්‍යස්ත බව මනාව පෙන්නුම් කරනවා.* යනුවෙන් පවසා සිටියි.

මීට පෙර ලයන් බියර් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සුරේෂ් ෂා මහතා සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී හි සභාපතිවරයා ලෙස පත් වූයේ 2021 වසරේ පෙබරවාරි 17 වැනිදාය.

Visits: 279