ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී වෙතින් රුපියල් 3.50 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම මගින් සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට සැලසුම් කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.50ක් බැගින් ගෙවීමට මෙහිදී යෝජනා වී තිබේ.

ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම ලංකා බැංකුවෙහි පූර්ණ අනුබද්ධිත සමාගමකි.

මෙම ලාභාංශ ගෙවීම 2020 මූල්‍ය වර්ෂය වෙනුවෙන් සිදු කරන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බවද ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 01 වැනිදා නම් කෙරී තිබේ. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන ජූනි 10 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇත.

කෙසේ වෙතත් මෙම ලාභාංශ ගෙවීම සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇති අතර, ඒ සඳහා වන මහාසභා රැස්වීම ලබන ජූනි 09 වැනිදා පැවැත්වීමටද සමාගම තීරණය කර තිබේ.

අද දිනයේදී මේ දක්වා ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 120ක් ලෙස සටහන්ව ඇත. එය ඊයේ දිනයේ ගනුදෙනු නිමාවේදී එහි කොටසක වටිනාකම වූ රුපියල් 119.75ට සාපේක්ෂව ශත 25ක එනම් 0.21%ක ඉහළ යාමකි.

Visits: 350