ආයෝජකයන් තුළ පැවැති චංචල බව දර්ශක අගයන්ගෙන් පෙන්වයි

අද (අප්‍රේල් 30දා) කොළඹ කොටස් හුවමාරුව අද දිනයේදීත් ඉහළ වාෂ්පශීලීත්වයක් යටතේ ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එහිදී මූලිකවම රට තුළ පවතින COVID-19 වසංගත තත්ත්වය, ලාභ ඉපැයීමේ අවස්ථාවන් මෙන්ම කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය සහ ඉදිරියේදී පැමිණීමට නියමිත ලාභාංශ පිළිබඳ නිවේදන යනාදියද ආයෝජකයන් තුළ වැඩි අවධානයක් යොමු කරවීමට හේතු වී තිබෙන බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,208.20ත් ඒකක 7,234.62ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,208.20ක් බවට පත්විය. එය ඊයේ (අප්‍රේල් 29දා) දිනයට සාපේක්ෂව ඒකක 8.50 ක් එනම් -0.12%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිදු කළ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, සිලෝන් ටොබැකෝ කම්පැනි සහ කලම්බු කෝල්ඩ් ස්ටෝර්ස් ගනුදෙනු පිරිවැටුමෙන් 34.7%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 73ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 67ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+7.22), බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+3.86), බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.26), සම්පත් බැංකුව SAMP (+2.85), කොමර්ෂල් බැංකුව COMB (+1.78), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (-6.75), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-4.88), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-4.34), ට්‍රාන්ස් ඒෂියා හොටෙල්ස් පීඑල්සී TRAN (-3.9), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-2.86) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,869.25ක අගයක් ගත් අතර, එය ඊයේ (29දා) ‍ට සාපේක්ෂව ඒකක 6.93 ක එනම් +0.24%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.14ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අප්‍රේල් 28) වාර්තා කළ රුපියල් බිලියන 2.52ට සාපේක්ෂව 55% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.18ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.37%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 212.82ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 439.25ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 226.43කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 21.46ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 4.72 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 225.25ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 403ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 35% ක අගයක් ගෙන තිබේ. ආහාර, පාන වර්ග හා දුම්කොළ අංශ සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 296ක සහ රුපියල් මිලියන 205ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 298