අනුරාධපුර යාය 6 සංවර්ධනයට HNB ගම්මැද්ද සමඟ එක් වෙයි

HNB මෙරට විශාලතම ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපාරය වන කැපිටල් මහරාජා සංවිධානයේ ගම්මැද්ද වැඩසටහන සමඟ පසුගියදා ගිවිසුමකට එළඹුණු බව පවසයි. ඒ අනුරාධපුර දිස්ත‍්‍රිකයට අයත් යාය 6 මහවිලච්චිය ගම්මානයේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙනි.

ග‍්‍රාමීය සංවර්ධනය සඳහා බැංකු සාමාජිකයන් සම්බන්ධ කර ගැනීම මෙන්ම ජනතාව වෙනුවෙන් වඩා ඵලදායී සේවාවක් ඉටු කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය HNB හි සුවිශේෂී පුද්ගලික බැංකු සත්කාරක අංශයක් වන The Club HNB විසින් සිදු කරනු ලබයි.

මේ සඳහා වූ විශේෂ උත්සවයක් පසුගියදා ග‍්‍රීන්පාත්හි The Club HNB පරිශ‍්‍රයේදී පැවැත්වුණු අතර යාය 6 ගම්මානයේ විශේෂ අමුත්තන්, ගම්මැද්ද News 1st කණ්ඩායම සහ The Club HNB හි විශේෂ ආරාධිත අමුත්තන්ද ඊට එක්ව සිටියහ. එහිදී HNB කළමනාකර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් සහ කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් යන මහත්වරුන් විසින් අත්සන් කරන ලද ගිවිසුමත් සමඟ අදාළ හවුල්කාරීත්වය නිල වශයෙන් ආරම්භ කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ HNB කළමනාකර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා ‘‘ග‍්‍රාමීය ප‍්‍රජාව යනු අප රටේ කොඳු නාරටියයි. ඒ නිසාම ගම්මැද්ද වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක වන ඉතා වටිනා කටයුත්තක් වෙනුවෙන් ඔවුන්ගේ අභිලාශයන් මුදුන් පමුණුවා ගැනීමට සහයෝගය දැක්වීම සඳහා කැපිටල් මහරාජා සමූහය සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳ ඉතා සතුටුයි. ඒ වගේම ශ‍්‍රී ලංකාව පුරා ග‍්‍රාමීය ප‍්‍රජාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් නැවත වරක් ඉදිරිපත් වෙමින් සිය නොමසුරු දායකත්වය ඔවුන් වෙත ලබා දීම සම්බන්ධයෙන් The Club HNB හි සාමාජික සාමාජිකාවන්ට මෙන්ම අපගේ ශාඛා ජාලයට මාගේ කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කොට ගන්නවා.’’ යනුවෙන් පැවසීය.

මෙම වැඩසටහනෙහි පළමු පියවර වන පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් පළමු අදියර යටතේ ජල පෙරණයක් (RO) ස්ථාපනය කිරීමට නියමිතය. මෙය සුවහසක් ජීවිත ආරක්ෂා කිරීමට පමණක් නොව කලාපය පුරා බහුලව පවතින නිදන්ගත වකුගඩු රෝග වළක්වා ගැනීමට ද ඉවහල් වනු ඇත.

මීට අමතරව මෙම වැඩසටහන යටතේ එම ග‍්‍රාමයේ ඇති පෙමදුව සාලියමාලා විද්‍යාලය වෙත අංග සම්පූර්ණ නව පුස්තකාලයක් මෙන්ම පරිගණක විද්‍යාගාරයක් ලබා දීමට කටයුතු කර ඇත්තේ එහි තවත් එක් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසය. එමෙන්ම එම පාසලේ සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් නව වැසිකිළි පද්ධතියක් ඉදි කිරීමට ද මෙහිදී කටයුතු සූදානම් කොට ඇත. තවද මෙම ව්‍යාපෘතිය යටතේ එම ගම්මානයට අයත් ප‍්‍රධාන මාර්ගය, පන්සල නවීකරණ හා අලූත්වැඩියා කටයුතු සිදු කිරීමට ද, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සපයා ගන්නා වැව පිරිසිදු කිරීමටද කටයුතු යොදා ඇත්තේ ගම් වාසීන් වෙත නව ප‍්‍රජා ශාලාවක් ඉදිකර දීමේ ව්‍යාපෘතියක්ද සමඟිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැපපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා සඳහන් කර සිටියේ ‘‘යාය 6 ගම්මානයේ ජනතාවට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන අපගේ අන්‍යෝන්‍ය ඉලක්කයන් පසුරා ගැනීම වෙනුවෙන් HNB සමඟ කටයුතු කිරීමට ලැබීම අප ලැබූ මහඟු අවස්ථාවක් කොට සලකනවා. අවශ්‍යතාවන් රැසකගෙන් සපිරි මෙම ගම්මානය සඳහා තමන්ගේ සහයෝගය ලබා දීමට එක් වූ HNB ගනුදෙනුකරුවන් නොවෙන්නට මේ ආකාරයේ ව්‍යාපෘතියක් සිදු කරගැනීම ඉතාමත් දුෂ්කරයි. ඒ නිසාම මේ සඳහා එක් වූ ඔබ සියලූ දෙනාට මේ මොහොතේ මාගේ ස්තුතිය පුද කර සිටිනවා’’ යනුවෙනි.

Visits: 55