මහජන බැංකුවේ ඩිජිටල් බැංකු සේවා අලූත් අවුරුදු සමයේදී අසමසම ගනුදෙනු වාර්තාවක් සනිටුහන් කරයි

මහජන බැංකුව, 2021 අපේ‍්‍රල් 01 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලසීමාව තුළ රුපියල් 5,822,504 ක අති දැවැන්ත ගනුදෙනු ප‍්‍රමාණයක් වාර්තා කරමින් සහ රුපියල් බිලියන 65.3 ක මුදල් ප‍්‍රමාණයක් නිකුත් කරමින් යළිත් වරක් සිය ඩිජිටල් බැංකුකරණයේ ශක්තිය පෙන්නුම් කර ඇතැයි පවසයි.

බැංකුවේ ඉන්ටර්නෙට් බෑන්කින්, පීපල්ස් වේව් මොබයිල් බෑන්කින් යෙදුම හා ස්වයං බැංකුකරණ ඒකක හරහා සිදු කරන ලද සියලූම ගනුදෙනු මීට ඇතුළත් වේ.

මහජන බැංකුව ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ඩිජිටල් මූල්‍ය සේවා සැපයීමේ ප‍්‍රමුඛත්වය දරන අතර, ශ‍්‍රී ලංකාව ඩිජිටල් සමාජයක් බවට පත් කිරීමේ වෑයම අතිසාර්ථකව ජයගෙන තිබේ. ජනතාවට වසරේ දින 365ම පැය 24 පුරා තමන්ට අවශ්‍ය බැංකු සේවා ලබාගැනීමට අවකාශ සලසන ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර, මුදල් තැන්පතු යන්ත‍්‍ර සහ කියෝස් අන්තර්ගත සංකල්පයක් වන ස්වයං බැංකුකරණ ඒකක හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ද මහජන බැංකුවයි. මෙම ස්වයං බැංකුකරණ ඒකක සංකල්පය මහජන බැංකුවේ අතිසාර්ථක පියවරක් මෙන්ම මෙරට ජනතාව අතර, අතිශය ජනපි‍්‍රයත්වයට පත් හඳුන්වා දීමකි.

ඊට අමතරව, බැංකුවේ People’s Wave App සහ People’s Wyn Apps භාවිතය ද ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත‍්‍රය නව මානයක් කරා රැගෙන යාමට සමත් වී තිබේ. මිලියනයකට වැඩි ග‍්‍රාහකයින් පිරිසක් People’s Wave යෙදුම බාගත කර ඇති අතර 50කට වැඩි විවිධ මූල්‍ය ගනුදෙනු සේවා ප‍්‍රමාණයක් සහ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් බැංකු සේවා ඉටු කරගැනීමට හැකියාව ලබාදෙන නවීන බැංකු පහසුකම් රැසක් ද මෙම සේවාවෙහි අන්තර්ගත වේ.

විශේෂයෙන්ම ව්‍යාපාරික සහ සමාගම් ඉලක්ක කරගනිමින් People’s Wave App නිර්මාණය කර ඇති අතර මුදල් යැවීම්, ගෙවීම් සහ පේ‍්‍රරණ වැනි ව්‍යාපාරික ගනුදෙනු කටයුතු බලගැන්වීම සහ අනුමත කිරීම වැනි අවශ්‍යතා ඉතා පහසුවෙන් සහ සුරක්ෂිතව ඉටු කරගැනීමට මෙමගින් හැකියාව ලැබේ. මහජන බැංකුව සිය ඩිජිටල්කරණයේ ගමන්මග ආරම්භ කරන ලද්දේ 2015 වසරේදීය. ඒ සමගින් සිය ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවකින්, වැඩි වේගයකින් සහ වැඩි කාර්යක්ෂමතාවයකින් සේවා සැපයීමට ඩිජිටල් බැංකු සේවා රැසක් බැංකුව විසින් හඳුන්වාදෙනු ලැබීය.

Visits: 97