දිමුත් ප්‍රසන්න පෑන්ඒෂියා බැංකු සභාපති ධුරයෙන් ඉවත් වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පෑන්ඒෂියා බෑන්කිං කෝපරේෂන් පීඑල්සීහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ගොඩේවත්ත ආරච්චිගේ රසික දිමුත් ප්‍රසන්න මහතා එම ධුරයෙන් ඉවත්ව ඇතැයි එම බැංකුව පවසයි. අද දිනයේ (අප්‍රේල් 29) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත් වීම සිදුව තිබේ.

ඒ මහතා 2012 වසරේ සිටම පෑන්ඒෂියා බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර 2021 මැයි 01 වැනිදා වනවිට ඔහු එම ධූරයට පත්ව වසර නවයක් සම්පූර්ණ වෙයි. ඒ මහතා බැංකුවෙහි සභාපතිවරයා ලෙස පත් වූයේ 2017 ජූලි මාසයේදීය.

2007 අංක 11 දරණ බැංකු පනතේ විධිවිධාන අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස වසර නවයක ධුර කාලයක් සම්පූර්ණවීමෙන් අනතුරුව එම සාමාජිකයන් සිය අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් විය යුතු වීම මෙම ඉවත්වීමට හේතුව බව බැංකුව පවසයි.

මෙලෙස ප්‍රසන්න මහතා සභාපති ධුරයෙන් ඉවත් වීම සිදු වුණු අද දිනය වනවිට ඒ මහතා සතුව පෑන් ඒෂියා කෝපරේෂන් පීඑල්සීහි කොටස් 34,801ක් හිමිව තිබූ බවත් සඳහන් වෙයි.

මේ අතර දිමුත් ප්‍රසන්න මහතා පෑන්ඒෂියා බැංකුවෙහි සභාපති ධුරය දරන අවස්ථාවේදීම ග්‍රැන්ඩ්මාර්ක් පෞද්ගලික සමාගමේද සභාපතිවරයා ලෙස කටයුතු කළේය. එසේම වයිස් ප්‍රොපර්ටි සොලියුෂන්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ ඔහු, තවත් සමාගම් කිහිපයකම අධ්‍යක් මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.

ඒ අනුව රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී, රොසෙල් බාත්වෙයාර් පීඑල්සී, ඩෙල්මේජ් ෆොර්සිත් ඇන්ඩ් කම්පැනි (ෂිපිං), කන්ට්‍රි එනර්ජි, ලා ෆෝට්‍රෙස්, ඩෙල්මේජ් ෆොර්සිත් ඇන්ඩ් කම්පැනි (එක්ස්පෝර්ට්ස්), ඩෙල්මේජ් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්, රොසෙල් ප්‍රොපර්ටීස්, ඩෙල්මේජ් කොයිරි, ඩෙල්මේජ් ෆ්‍රයිට් සර්විසස්, ඩෙල්මේජ් එයාර් සර්විසස්, ලෙවිස් බ්‍රවුන් එයාර් සර්විසස්, ලංකා ටයිල්ස් පීඑල්සී, ඩෙල්මේජ් ඒවියේෂන් සර්විසස්, ඩෙල්මේජ් එයාර්ලයින් සර්විසස්, ඩෙල්මේජ් ඒරෝ සර්විසස් සහ රෝයල් සෙරමික්ස් ඩිස්ට්‍රිබියුටර්ස් යන පෞද්ගලික සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද දිමුත් ප්‍රසන්න මහතා කටයුතු කරයි.

Visits: 149