ඉහළ ප්‍රාග්ධනයක් සහිත කොටස් වටිනාකම් ඉහළ පහළ යාමෙන් දර්ශක ඍණ වෙයි

අද (අප්‍රේල් 29දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරතුරදී විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම්හි කොටස් වටිනාකම් තුළ පැවැති උච්චාවනය හේතුවෙන් වෙළෙඳ පොළ තුළ වාෂ්පශීලීතාවක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහි ප්‍රතිඵලයක් ලෙස දිනය නිමාවේදී දර්ශක අගයන් ඍණ බවට පත්වීමද සිදුවිය.

එසේම රට තුළ ඉහළ යන COVID19 ආසාදිතයන්ගේ වර්ධනය ආයෝජකයන් ගේ විමසිලිමත් බව තවදුරටත් ඉහළ යාමට හේතුවක් වී තිබේ. විශේෂයෙන්ම මෙම තෙවැනි කොවිඩ්-19 රැල්ල රටෙහි ආර්ථිකය වෙත මෙන්ම ආයෝජක මතයන් සඳහා දැඩි ලෙස බලපානු ඇතැයිද එම තැරැව්කාර සමාගම්වල අදහස වී තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,192.39ත් ඒකක 7,296.60ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,216.70ක් බවට පත්විය. එය ඊයේ (අප්‍රේල් 28දා) දිනයට සාපේක්ෂව ඒකක -23.24 ක් එනම් -0.32%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිදු කළ හැටන් නැෂනල් බැංකුවෙහි ගනුදෙනුවක් පිරිවැටුමෙන් 1.1%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 63ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 80ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+4.91), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+2.89), හැටන් නැෂනල් බැංකුව HNB (+2.86), ට්‍රාන්ස් ඒෂියා හොටෙල්ස් පීඑල්සී TRAN (+2.81), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+1.55), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-5.39), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-5.24), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.26), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-3.08), බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-2.89) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,862.32ක අගයක් ගත් අතර, එය ඊයේ (28දා) ‍ට සාපේක්ෂව ඒකක -16.48 ක එනම් -0.57%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.52ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අප්‍රේල් 28) වාර්තා කළ රුපියල් බිලියන 2.17ට සාපේක්ෂව 16% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.18ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.5%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 63.02ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 839.06ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 776.04කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 21.23ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 31.33 කි. එසේම හැටන් නැෂනල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 764.29ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,043ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 41% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 477ක සහ රුපියල් මිලියන 272ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 432