’Destiny’ හි ඉරණම පිළිබඳ නිමල් පෙරේරාගේ අදහසට පිළිතුරු ලැබෙයි

කොළඹ නගරයේ ආසන්න ස්ථාන දෙකක ඉදි කෙරෙමින් පවතින ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක සහ විදේශ ආයෝජනයක් ලෙස ඉදිවන Destiny Mall and Residency හි ඉදිකිරීම් සම්බන්ධයෙන් සැසඳීමක් සිදු කරමින් මෙරට සුප්‍රසිද්ධ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පසුගියදා සිය ට්විටර් ගිණුම හරහා අදහස් දැක්වීමක් සිදු කර තිබුණි.

මෙහිදී එම ගොඩනැගිලි දෙකෙම එකට දැක්වෙන ඡායාරුපයක් ප්‍රසිද්ධියට පත් කර තිබූ ඔහු, Destiny හි ඉරණම කුමක්ද? (What is the destiny of the Destiny?) යනුවෙන් සඳහන් කර තිබුණි.

ඔහු එහි සඳහන් කර තිබූ ආකාරයට වම් පසින් පිහිටි දේශීය ආයෝජකයෙකු වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි ව්‍යාපෘතිය මේ වනවිට නිමා කෙරී ඇති බවත්, දකුණින් පිහිටි විදේශ ආයෝජකයෙකු ගේ ව්‍යාපෘතිය මේ වනවිට අර්බුදයට ලක්ව ඇතැයි සඳහන් කෙරී තිබුණි.

කෙසේ වෙතත් නිමල් පෙරේරා මහතාගේ මෙම අදහස සම්බන්ධයෙන් ට්විටර් ගිණුම හරහා ප්‍රතිචාර දක්වා සිටින Destiny Mall and Residency සියලුම අභියෝග මධ්‍යයේ වුවද සිය ඉදිකිරීම් ඉදිරියටත් සිදු කෙරෙමින් පවතින බවත්, නව කාලසටහනට අනුව Destiny 1 සහ 2 ඉදිකිරීම් නිමා කිරීම සඳහා සම්පූර්ණ දායකත්වය ලබා දෙමින් සිටින බවත් සඳහන් කර සිටියි.

“පාස්කු බෝම්බ ප්‍රහාරය සහ COVID-19 වසංගතය හමුවේ මතු වූ අභියෝගයන්ට මුහුණ දෙමින් තවදුරටත් අප සමගින් සම්බන්ධ වී සිටින අපගේ සියලුම ගනුදෙනුකරුවන් 550 දෙනා වෙතම අප ස්තූතිය පුද කරනවා. ඒ වගේම Destiny 1 හ 2 ව්‍යාපෘතීන්හි වැඩ නව කාලසටහනට අනුව  අවසන් කිරීමටත් පූර්ණ දායකත්වය ලබා දීමට අප කටයුතු කරනවා.* මෙම පණිවුඩයේ සඳහන් වෙයි.

පාකිස්තානයේ ඉම්පීරියල් සමාගම මගින් මෙම Destiny Mall and Residency ඉදිකිරීම ආරම්භ කළ අතර පාස්කු ප්‍රහාරය සහ වසංගත තත්ත්වය නිසා එහි ඉදිකිරීම් වෙත බලපෑම් එල්ල විය.

මේ අතර පසුගිය අප්‍රේල් 06 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී Destiny Mall and Residency හි ඉදිකිරීම් නියමිත කාලයට නිමා කිරීමට හැකියාව ලැබෙන බවට සඳහන් කිරීමක් සිදු වුණු බවත්, මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, අමාත්‍ය අජිත් නිවාඩු කබ්රාල්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන්ද සිල්වා, මාගා ඉන්ජිනියරිං සමාගමේ එම්.ජී. කරුණාරත්න සහ නාගරික සංවර්ධන අධිකාරියෙහි සහ Destiny Mall and Residency හි නිලධාරීන් පිරිසක් සහභාගි වූ බවද සමාගම ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දී සිටියි.

එසේම පසුගිය ජනවාරි 20 වැනිදා ඉම්පීරියල් බිල්ඩර්ස්, මාගා ඉන්ජිනියරිං සහ එක්ස්පෝ ඩිවලොපර්ස් යන සමාගම් අතර කොන්ත්‍රාත්තු ගිවිසුමක් අත්සන් කිරීමත් සිදුව තිබේ. මීට අමතරව මාර්තු 29 වැනිදා ඉම්පීරියල් බිල්ඩිංග්ස් සමාගම නාගරික සංවර්ධන අධිකාරියත් සමගින් ගොඩනැගිල්ල ඉදිකර තිබෙන භූමිය සම්බන්ධ කල්බදු එකඟතාවකට පිවිසි බවත්, එහිදී වසර හතකට පසුව Destiny Mall and Residency හි ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා වත්මන් රජය ලබා දුන් සහාය පිළිබඳව ස්තූති කිරීමක්ද සිදු කර තිබේ.

ඒ අනුව Destiny Mall and Residency හි මෙම ප්‍රතිචාර සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති නිමල් පෙරේරා මහතා, එය ඉතාමත් හොඳ පුවතක් බවත්, සිය අදහස් දැක්වීමට සිදු කළ ප්‍රතිචාර දැක්වීම ඉතාමත් හොඳ දෙයක් බවත් ට්විටර් පණිවුඩයක් තබමින් පවසා තිබේ.

Visits: 724