සැම්සුන්ග් උරුමකරුවන් මෙතෙක් ලොව විශාලතම උරුම බද්ද ගෙවිමට යයි

දකුණු කොරියාවේ සුප්‍රසිද්ධ සැම්සුන්ග් සමූහයෙහි වත්මන් හිමිකරුවන් විසින් එරට රජය වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 12කට ආසන්න වටිනාකමකින් යුත් උරුම බද්දක් පියවීමට සූදානමින් සිටින බව අද නිවේදනය කර තිබේ.

සැම්සුන්ග් සමාගමේ නිර්මාතෘ සහ සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් හි සභාපති අභාවප්‍රාප්ත ලී කුන්-හී සතු වත්කමින් කොටසක් මෙලෙස උරුම බදු ලෙස පියවීමට සැම්සුන්ග් සමූහයේ වත්මන් හිමිකරුවන් තීරණය කර ඇත. මෙය ලොව තුළ එතෙක් මෙතෙක් සිදු වුණු විශාලතම උරුම බදු ගෙවීමක් ලෙසද සටහන්ව තිබේ.

78 හැවිරිදි වියේ පසුවුණු ලී කුන් – හී පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අභාවප්‍රාප්ත විය. පැවැති රෝගී තත්ත්වයක් නිසා ඔහු වසර කිහිපයක්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය. අභාවයට පත්වන අවස්ථාව වනවිට ඔහු සතුව දකුණු කොරියානු වොන් ට්‍රිලියන 22ක් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 19.6ක වත්කමක් තිබූ බව පැවසෙයි.

දකුණු කොරියාව තුළ ක්‍රියාත්මක මෙම උරුම බදු අය කරගැනීමේ බදු නීතිය ඉතා දැඩි වන අතර ඉහළ බදු අනුපාතයක්ද මෙහිදී අය කර ගැනීම සිදු වෙයි. ඒ අනුව එම නීතිය යටතේ සැම්සුන්ග් පවුල වෙත මෙවැනි ඉහළ බද්දක් ගෙවීමට සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති සැම්සුන්ග් සමාගම, “ලී පවුල මෙලෙස උරුමයන් හා සම්බන්ධව බදු ලෙස වොන් ට්‍රිලියන 12කට වඩා වැඩි එනම් ඩොලර් බිලියන 11කට ආසන්න බදු ප්‍රමාණයක් ගෙවීමට කැමැත්ත පළ කර තිබෙනවා.” යනුවෙන් සඳහන් කර තිබේ.

එසේම මෙම උරුම බදු ගෙවීම මෙතෙක් දකුණු කොරියාව තුළ මෙන්ම ගෝලීයවද සිදු වුණු විශාලතම උරුම බදු පියවීම ලෙසින්ද සැලකෙන බව සැම්සුන්ග් සමාගම පවසයි. මෙහිදී එම බදු මුදල් මේ මාසයේ සිට ඇරඹෙන ආකාරයට වාරික හයකින් පියවීමට ලී පවුල තීරණය කර තිබෙන බවත් නිවේදනයේ සඳහන් වෙයි.

සමාගම පවසන ආකාරයට ලී සතුව පැවැති මෙම වත්කම් අතර සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික් සමාගම, සැම්සුන්ග් ලයිෆ් සහ සැම්සුන්ග් සීඇන්ඩ්ටී මෙන්ම තවත් දේපළ වෙළෙඳාම් වත්කම්ද පවතී. මීට අමතරව අභාවප්‍රාප්ත සභාපතිවරයා සතුව තිබූ වොන් ට්‍රිලියන 2ත් 3ත් අතර වටිනාකමක් ගන්නා පුරාවස්තු රැසක්ද මෙහිදී රජය වෙත භාරදීමට ලී පවුල කැමැත්ත පළ කර ඇත.

වාර්තාවලට අනුව ලීගේ මෙම පුරාවස්තු එකතුව සතුව භාණ්ඩ 23,000 කට අධික ප්‍රමාණයක් පවතී. ඒ අතරින් භාණ්ඩ 14 ක් ජාතික වස්තූන් ලෙස නම් කෙරී ඇත. මෙම භාණ්ඩ ඉදිරියේදී කොරියාවේ ජාතික කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනයට තැබීමට නියමිතව තිබේ.

මෙම එකතුව අතර කලාකෘති කිහිපයක්ද පවතින අතර සුප්‍රසිද්ධ සිත්තරෙකු වන පැබ්ලෝ පිකාසෝගේ සිතුවමක්ද වන බව පැවසෙයි. මෙම කලාකෘති ඇතුළු භාණ්ඩ ප්‍රදානය කිරීම හේතුවෙන් ලී පවුලේ ඉදිරි බදු ලිහිල් වීමක් සිදු වෙනු ඇතැයිද මාධ්‍ය වාර්තා පවසයි.

මේ අතර ලී පවුල විසින් තවත් වොන් ට්‍රිලියනක මුදලක්ද දකුණු කොරියානු සෞඛ්‍ය අංශ වෙත ලබාදීමට නියමිතව තිබේ. එම මුදල් යොදා ගනිමින් දකුණු කොරියාවේ පළමු විශේෂිත බෝවන රෝග පිළිබඳ රෝහල ඉදිකිරීම සැලසුම වී ඇත. අභාවප්‍රාප්ත ලී කුන්-හීගේ පුත්‍රයා වන සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස්හි උප සභාපති ලී ජේ-යොන්ග් මේවනවිටත් දකුණු කොරියාවේ බන්ධනාගාරගතව සිටියි. හිටපු දකුණු කොරියානු ජනාධිපතිනිය සමගින් සිදු කළ බව පැවසෙන අල්ලස් ලබා දීම් ඇතුළු මූල්‍ය වංචා කිහිපයක් යටතේ ඔහු මෙලෙස සිරගතව සිටියි.

Visits: 262