වතු කම්කරුවන්ට එන්නත ලබා දීමේ වැදගත්කම RPCs අවධාරණය කරයි

ඉදිරියේදී නැවතත් ක‍්‍රියාත්මක කිරීමට නියමිත කොවිඞ්-19 ජාතික එන්නත්කරණ වැඩසටහනේදී ජාතික ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයන වැවිලි ක්ෂේත‍්‍රයේ නියුතු සේවකයින්ට ප‍්‍රමුඛත්වය ලබා දෙන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) රජයෙන් හා මහජන සෞඛ්‍ය නිළධාරීන්ගෙන් ඉල්ලා සිටී.

දේශීය හා ගෝලීය වශයෙන් නැවත වරක් කොවිඞ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමේ පසුබිමක් තුළ රජයේ කොවිඞ්-19 එන්නත්කරණ වැඩසටහනේ දෙවන අදියරේ කටයුතු දැනටමත් ආරම්භ කිරීමට සූදානම් වෙමින් පවතින මොහොතක වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සහතික කළ යුතු බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා අවධාරණය කර සිටියේය.

‘‘රජය හා මහජන සෞඛ්‍ය නිළධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින RPC කළමනාකාරීත්වයේ සාමූහික ප‍්‍රයත්නය හේතුවෙන් කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතුවල දැඩි සෞඛ්‍ය, සනීපාරක්ෂක හා සමාජ දුරස්ථකරණ ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කිරීමට අපට හැකි වුනා. මේ හේතුවෙන් වතුකරයේ කිසිඳු කොවිඞ්-19 ආසාදිතයෙකු වාර්තා වූයේ නෑ.

‘‘වසංගතය හේතුවෙන් මෙම කාලය තුළ අපගේ සියලූම සේවකයින් අවම බාධාවලින් යුතුව අඛණ්ඩව වැඩ කටයුතුවල නිරත වූ අතර ඔවුන් සියල්ලම ජාතික ආර්ථිකයට අත්‍යවශ්‍ය විදේශ විනිමය උත්පාදනය කිරීමට කැපවී කටයුතු කළා. එමනිසා අතිශයින් හදිසි කටයුත්තක් සේ සලකා අපගේ සේවකයින්ට කඩිනමින් කොවිඞ්-19 ප‍්‍රතිශක්තිකරණ එන්නත ලබා දෙන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිනවා.’’ යනුවෙන් ආචාර්ය රාජදුරෙයි මහතා පැවසුවේය.

සැපයුම් දාමයේ සිටින සියලූම වැදගත් අංශවලට සහ වතුකරයේ ජනතාවට කොවිඞ්-19 වසංගතයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ක‍්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කලාපීය වැවිලි සමාගම් වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) හා අදාල පාර්ශවකරුවන් සමඟ එක්ව සහයෝගයෙන් කටයුතු කළේය.

පසුගිය වසරේ මුල් භාගයේදී ලොක්ඩවුන් තත්වය ප‍්‍රකාශ කිරීමත් සමඟ මිලියන 1.5ක් වන වතුකරයේ ජනගහනය වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා RPCs, PHDT සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන්ගෙන් සැදුම්ලත් කොවිඞ්-19 මෙහෙයුම් කමිටුවක් පත් කරන ලදී.

වතුකරයේ ප‍්‍රජාව අතර මෙම වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අත් සෝදන හා සනීපාරක්ෂක දියර වර්ග, දැනුවත් කිරීමේ වැඩසටහන්, ආරක්ෂිත උපකරණ, වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු ක‍්‍රියාකාරකම් ගණනාවක් වෙනුවෙන් රුපියල් මිලියන දෙසීයකට වැඩි මුදලක් ආයෝජනය කර ඇති බව වැවිලි මානව සංවර්ධන භාරය සඳහන් කරයි.

තවද කම්කරු ක්ෂේත‍්‍රයේ රැකියාවල නිරතව පසුව වසංගතය හේතුවෙන් සිය රැකියා අහිමිව නැවත වතුකරයට පැමිණ සිටින තරුණයින් සඳහා ‘සෞභාග්‍යා’ කෘෂිකාර්මික වැඩසටහන යටතේ රැකියා අවස්ථාවන් ලබා දීමට ද කලාපීය වැවිලි සමාගම් කැපවීමෙන් කටයුතු කර ඇත.

‘‘කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට වෙහෙස මහන්සි වී ක‍්‍රියා කළ අපගේ සියලූම ඉදිරිපෙළ සේවකයින්ට, රජයට හා සෞඛ්‍ය අමාත්‍යංශයට අප ස්තූතිවන්ත වනවා. ඔවුන් රට පුරා එන්නත්කරණ ක‍්‍රියාවලිය පරිපාලනය කර ඇති ආකාරය ඉතා ප‍්‍රශංසනීයයි. වතු ප‍්‍රජාවගේ යහපැවැත්ම උදෙසා අඛණ්ඩව කටයුතු කරන අතරම අපගේ වතු කම්කරුවන්ගේ හා සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉදිරියටත් කලාපීය වැවිලි සමාගම් කැපවනවා.’’ යනුවෙන් ආචාර්ය රාජදුරෙයි මහතා වැඩිදුරටත් පැවසුවේය.

Visits: 31