ප්‍රයිම් රෙසිඩෙන්සීස් මූලික මහජන කොටස් නිකුතුව මැයි 11 දා

මෙරට ප්‍රමුඛ පෙළේ ඉඩම් සහ දේපළ වෙළෙඳාම් අලෙවි සමාගම් සමූහයක් වන ප්‍රයිම් ලෑන්ඩ් සමූහයට අයත් ප්‍රයිම් රෙසිඩෙන්සීස් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අයැදුම් පත්‍රය වෙත අනුමැතිය ලබා දුන් බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

ඒ අනුව මෙම ලැයිස්තුගතවිමට අදාළව ප්‍රයිම් රෙසිඩෙන්සීස් මගින් සිදු කරන සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) ලබන මැයි 11 වැනිදා සිදු කෙරෙන බවද සමාගම දැනුම් දී සිටියි.

මෙහිදී කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය ලැබී ඇති ආකාරයට ප්‍රයිම් රෙසිඩෙන්සීස් මගින් සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 187.5ක් නිකුත් කිරීමට නියමිතව ඇත. මෙය සමාගම සතු සමස්ත කොටස් අතරින් 20%ක කොටස් ප්‍රතිශතයකි. කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන පුවරුවෙහි හෝ දිරිසවි පුවරුවෙහි මෙම කොටස් ලැයිස්තුගත කෙරෙන බව සඳහන් වෙයි.

මේ අතර ප්‍රයිම් රෙසිඩෙන්සීස්හි මූලික මහජන කොටස් නිකුතුවේ කොටසක වටිනාකම රුපියල් 10.40ක් ලෙස නම් කෙරී ඇති අතර, මෙම මූලික මහජන කොටස් නිකුතුවේ මිලදී ගැනීම් ලබන මැයි 11 වැනිදා සිට ආරම්භ වෙයි. මේ හරහා රුපියල් බිලියන 1.95ක මුදලක් රැස් කරගැනීම ප්‍රයිම් රෙසිඩෙන්සීස් සමාගමේ අදහස වී තිබේ.

සමාගම මගින් සැලසුම් කර ඇති ආකාරයට පළමු නිකුතුවේදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 100ක් ආයෝජකයන් වෙත නිකුත් කිරීම අපේක්ෂාවයි.

එහිදී කොටසක් රුපියල් 10.40ක් ඒ හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 1.40 කි. එසේම මෙම පළමු නිකුතුව සඳහා ලැබෙන අධිඉල්ලුමත් සමගින්ම තවත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 87.5ක් නිකුත් කිරීමටද ප්‍රයිම් රෙසිඩෙන්සීස් පෞද්ගලික සමාගම සූදානමින් සිටියි. ඒ හරහා රැස් කෙරෙන මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 910කි.

ඒ අනුව මෙම සමස්ත මූලික මහජන කොටස් නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 1.95ක් ලෙස ගණන් බලා තිබේ.

මේ වසරේ පළමු මූලික මහජන කොටස් නිකුතුව ලෙස පසුගිය මාසයේ 24 වැනිදා සිදු කෙරුණු වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ්හි නිකුතුව වෙත අපේක්ෂිත ප්‍රමාණය මෙන් අට ගුණයක මුදල් රැස් කරගැනීමක් සිදු කිරීමට හැකියාව ලැබුණි.

මේ වසරේ සිදු කරන දෙවැනි මූලික මහජන කොටස් නිකුතුව ලෙස තුන්වන ප්‍රාර්ශ්වයේ ලොජිස්ටික් සේවා සපයන ක්‍රිස්වර්ල්ඩ් සමාගම සිය නිකුතුවක් ලබන අප්‍රේල් 27 වැනිදා සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, මේ වසරේ තෙවැනි මූලික මහජන කොටස් නිකුතුව බවට ප්‍රයිම් රෙසිඩෙන්සීස් නිකුතුව පත් වීමට ඉඩ තිබේ.

Visits: 314