BOI, CCC හා CSE එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා ආයෝජන ෆෝරමය ජූනි 07 දා

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), ලංකා වාණිජ මණ්ඩලය (CCC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා ආයෝජන හමුව 2021 (Sri Lanka Investment Forum 2021) ලබන ජූනි 07 වැනිදා අන්තර්ජාල හරහා දියත් කෙරෙන බව පවසයි.

ජූනි 09 වැනිදා දක්වා දින  තුනක් පුරා සංවිධානය කෙරෙන මෙම හමුවේ තේමාව Sri Lanka – Asia’s Next Growth Haven යන්නයි.

මෙම වැඩසටහනේදී ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තුළ පවතින ආකර්ෂණීයත්වය ලෝකයා වෙත විදහා දැක්වීම අරමුණ වී තිබේ. ඒ අනුව දැවැන්ත ව්‍යාපෘති, උපායමාර්ගික ආයෝජන මුලපිරීම්, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කෙරේ.

මෙම හමුව හරහා ස්වෛරීත්ව වත්කම් අරමුදල්, පෞද්ගලික කොටස් අරමුදල්, සංවර්ධන මූල්‍ය ආයතන, ඉහළ වත්කම් සහිත තනිපුද්ගලයන් සහ ලොව පුරා විසිරී පැතිරී සිටින අනෙකුත් ආයෝජකයන් ඇතුළු ඍජු සහ ආයෝජන කළඹ සහිත ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම අපේක්ෂාව වී තිබේ.

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ ප්‍රතිපත්ති සම්පාදකයන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ කර්මාන්තයේ ප්‍රධානීන් ඇතුළු පිරිස් මෙම අවස්ථාවේදී ප්‍රධාන දේශන පැවැත්වීමට නියමිතව සිටින අතර, ඒ හරහා ගෝලීය ආයෝජක සමාජයන් වෙත ශ්‍රී ලංකාවේ ආයෝජක හැකියාව සම්බන්ධයෙන් පෙන්නුම් කිරීමක් සිදු කෙරෙන බව පවසයි.  

විශේෂයෙන්ම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් වෙත විදේශීය ආයෝජකයන්වෙත ළගාවීමටත්, ඍජු විදේශ ආයෝජන යටතේ සිදු කරන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘති සඳහා යොමුවීමටත් අවස්ථාවක් බව සංවිධායකයෝ පවසති.

එහිදී ආයෝජන බැංකුකකරණ සහ උපදේශක සමාගම් මෙන්ම කොටස් තැරැව්කාර සමාගම් සහ උපදේශකත්ව සමාගම්ද මෙම අවස්ථාවේ මුල් පෙළේ සහභාගිවන්නන් ලෙස හඳුන්වා දී තිබේ. මෙම ශ්‍රී ලංකා ආයෝජන ෆෝරමය 2021 සඳහා ප්ලැටිනම් හවුල්කරුවා ලෙස ඒෂියා සෙකියුරිටීස් සමාගම, රන් හවුල්කරුවා ලෙස සිටිබෑන්ක් සමාගම, රිදීහවුල්කරුවා ලෙස එන්එස්බී ෆන්ඩ් මැනේජ්මන්ට් ආයතනය සහ ලෝකට හවුල්කරුවා ලෙස සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් සහ මෙල්ස්ටාකෝර්ප් යන සමාගම් කටයුතු කරයි. එසේම රක්ෂණ හවුල්කරුවා ලෙස ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම, දුරකතන සේවා හවුල්කරුවා ලෙස ඩයලොග් ආසිආටා සමාගම ක්‍රියා කරයි.

Visits: 243