යූනියන් ඇෂුවරන්ස් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ එකඟතාවකට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් (UA) සිය ජීවිත රක්ෂණ කළඹේ වටිනාකම ඉහළ නැංවීමට සහ තිරසාර ව්‍යාපාරික වර්ධනයට ශක්තිමත් උපායමාර්ගික පියවරක් වශයෙන් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව (NTB) සමඟ වන සමාගමේ දිගුකාලීන හවුල්කාරීත්වය පසුගියදා තවත් වසර පහකට දීර්ඝ කළ බව පවසයි  

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ගෝම්ස් සහ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ප‍්‍රධාන විධායක නිළධාරී/අධ්‍යක්ෂ ප‍්‍රියන්ත තල්වත්ත යන මහත්වරු විසින් අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.

 මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ගෝම්ස් මහතා ‘‘නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව සමඟ පවතින මෙම හවුල්කාරීත්වය දීර්ඝ කිරීමට ලැබීම අපට ගෞරවයක්. ඉහළ ගුණාත්මකභාවය හා වටිනාකමින් යුතු සේවාවක් ලබා දීම සඳහා අප යන ගමනේදී උපායමාර්ගික සබඳතාවන් අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව තිබෙනවා වගේම ගනුදෙනුකරුවන්ගේ ජීවිත වඩාත් යහපත් හා සුරක්ෂිත කිරීමට හා ජීවිත රක්ෂණ වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කිරීම සඳහා සාමුහික කැපවීමක් ද අවශ්‍ය වනවා. ගනුදෙනුකරුවන්ගේ විවිධ හා වෙනස් වන අවශ්‍යතා සපුරා ලීම සඳහා රටේ ප‍්‍රමුඛ පෙළේ සමාගම් දෙකක් එකට එක්ව සහයෝගයෙන් කටයුතු කළ හැකි බවට අපගේ මෙම හවුල්කාරීත්වය කදිම නිදසුනක් බව අප විශ්වාස කරනවා. මේ සඳහා අපගේ ගනුදෙනුකරුවන්ට වෙනස් අත්දැකීමක් ලබා දීමට හා සබඳතාවන් වඩාත් විධිමත් කිරීම සඳහා අපගේ කෘතිම බුද්ධිය හා විශ්ලේෂණ හැකියාවන් භාවිතය වැඩි කිරීමට අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් පැවසුවේය.

2020 කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ඇති කරන ලද පෙර නොවූ විරූ අභියෝග හමුවේ වුවද, කිසිඳු අභියෝගයකින් තොරව වෙළෙඳපොළ නායකත්වය පවත්වා ගැනීම සඳහා ශක්තිමත් කාර්යසාධනයක් පෙන්වීමට යූනියන් ඇෂුවරන්ස් සහ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ හවුල්කාරිත්වයට හැකියාව ලැබුණු අතර මේ හේතුවෙන් ව්‍යාපාරික නායකත්ව සම්මාන උළෙලේදී වසරේ බැංකු රක්ෂණ සහයෝගීතාවය උදෙසා පිළිගැනීමට ද ලක් විය.

‘‘මූල්‍ය ක්ෂේත්‍රය තුළ මෑතකදී අත්සන් කරන ලද විශාලතම බැංකුරක්ෂණ උපායමාර්ගික හවුල්කාරීත්වය ලෙස මෙය පෙන්වා දිය හැකි අතර නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවට හා යූනියන් ඇෂුවරන්ස් සමාගමට සැබවින්ම මෙය සුවිශේෂී සන්ධිස්ථානයක්. බැංකු රක්ෂණ සේවා පිරිනැමීමේ ප‍්‍රමුඛයා ලෙස මෙය අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට මූල්‍ය ක්ෂේත‍්‍රය පදනම් කරගත් පාරිභෝගික සේවා ප‍්‍රමිතීන් සමඟින් පරිපූර්ණ මූල්‍ය විසඳුම් ලබා දීමේ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ තවත් එක් වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි. මෙම උසස් තත්වයේ සේවාව අඛණ්ඩව ලබා දීමට අප යූනියන් ඇෂුවරන්ස් සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ප‍්‍රධාන විධායක නිළධාරී/අධ්‍යක්ෂ ප‍්‍රියන්ත තල්වත්ත මහතා පැවසුවේය.්‍

Visits: 64