කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත්‍ර ජාලයෙන් උත්සව සමයේ වාර්තාගත මුදල් ලබා ගැනීමක්

කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM) ජාලය මගින් අපේ‍්‍රල් 9 සහ 10 දෙදින වාර්තාගත රුපියල් බිලියන 8.818ක මුදලක් නිකුත් කර ඇති අතර, එම පැය 24ක් තුළ මුදා හරින ලද මුදල් ප‍්‍රමාණය සඳහා නව වාර්තාවක් පිහිටුවා ඇතැයිද පවසයි.

ඒ අනුව බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර ජාලය විසින් අපේ‍්‍රල් 9 වන දින රුපියල් බිලියන 4.498ක මුදලක් සහ ඊට පසු දින රුපියල් බිලියන 4.320ක මුදලක් මුදාහැර ඇති බව බැංකුව නිවේදනය කරයි.

සමස්ත වශයෙන් 2021 අපේ‍්‍රල් මස 1 වන දින සිට 15 වන දින දක්වා කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර වලින් රුපියල් බිලියන 41.748ක මුදලක් ලබාගෙන තිබූ අතර මෙම ජාලය මෙරට වැසියන්ගේ දෛනික ජීවිතයට දක්වන වැදගත්කම සහ එහි විශ්වාසනීයත්වය මෙන්ම ශක්තිමත්භාවය මෙමගින් පෙන්නුම් කරයි.

මෙම දින 15න් දින 7කදී දිනකට රුපියල් බිලියන 2කට අධික මුදල් ප‍්‍රමාණයක් බැගින් ලබාගෙන ඇති අතර දින 5කදී දිනකට රුපියල් බිලියන 3කට අධික මුදල් ලබාගෙන ඇති බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

මේ අනුව ටෙලර් යන්ත‍්‍ර ජාලය සතු යන්ත‍්‍ර 890ක් ඔස්සේ අදාළ දින 15 තුළදී සමස්ත වශයෙන්  ගනුදෙනු මිලියන 2.434ක් සිදුකොට ඇති අතර එක් දිනක් තුළ සාමාන්‍යයෙන් සිදු කොට ඇති ගනුදෙනු සංඛ්‍යාව 168,988කි.

අපේ‍්‍රල් 9 වන දින පමණක් සිදු කොට ඇති ගනුදෙනු සංඛ්‍යාව 233,990ක් වූ අතර එය පැයකට ගනුදෙනු 9,749ක්, එසේත් නැත්නම් විනාඩියකට ගනුදෙනු 162ක් සිදුව තිබේ.

Visits: 58