ඇම්බියොන් අත්හළ ‘සවුත් ඒෂියා ටෙක්ස්ටයිල්ස්’ කොටස් හේලීස් ෆැබ්රික් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් දෙකක් වන ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ හේලීස් ෆැබ්රික් පීඑල්සී යන සමාගම් දෙක අතර ඊයේ (22දා) දිනයේදී එකඟතාවක් ඇති වූ බව සමාගම් දෙකම සඳහන් කර සිටියි.

මෙම සඳහන් කිරීමට අනුව ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි වැඩි කොටස් හිමිකාරීත්වයක් පැවැති සවුත් ඒෂියා ටෙක්ස්ටයිල්ස් ලිමිටඩ්හි එම කොටස් ප්‍රමාණය ඊයේ දිනයේදී හේලීස් ෆැබ්රික් පීඑල්සී විසින් මිලදී ගැනීමක් සිදු කර තිබේ.

මෙම අත්පත් කරගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම, “අපනයනය මූලික කරගත් ඇගලුම් කර්මාන්තය වෙනුවෙන් රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම 2021 අප්‍රේල් 22 වැනිදා ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම හා ඇති කරගත් එකඟතාවකට අනුව සවුත් ඒෂියා ටෙක්ස්ටයිල්ස් ලිමිටඩ් සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමට කටයුතු කෙරිණි.” යනුවෙන් සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම අත්පත් කරගැනීම සිය උපායමාර්ගික සැලසුමක් වන සිය අපනයනය මූලික කරගත් ඇගලුම් කර්මාන්තය වෙත අවශ්‍ය ඉහළ අගය එකතු කළ වටිනාකමක් සහිත රෙදි ලබා දීමේ ධාරිතාව ඉහළ නැංවීම සාර්ථක කරගත හැකි බව හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම මෙම එකඟතාව සම්බන්ධයෙන් ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම නිකුත් කළ නිවේදනයට අනුව, “අපනයනය මූලික කරගත් ඇගලුම් කර්මාන්තය වෙනුවෙන් රෙදිපිළි නිෂ්පාදන සිදු කරන හේලීස් ෆැබ්රික්ස් පීඑල්සී සමාගම සමගින් 2021 අප්‍රේල් 22 වැනිදා ඇතිකරගත් එකඟතාවට අනුව, සවුත් ඒෂියා ටෙක්ස්ටයිල්ස් ලිමිටඩ්හි අප සමාගම සතුව තිබූ කොටස් අත්හැරීමක් සිදුව තිබේ.” යනුවෙන් සඳහන්ව ඇත.

Visits: 715