අඩු මිලට කොටස් මිලදී ගැනීමේ උනන්දුව තවදුරටත් ඉහළට

අද (අප්‍රේල් 23දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේ සිටම යම් පසු බැසීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම COVID-19 ආසාදිතයන්ගේ වර්ධනයත් සමගින්ම රට පුරා ලොක්ඩවුන් සීමා පැමිණවීමේ අවදානමක් පැවතීම ඊට හේතු වී තිබේ.

මේ අතර ඉහළ වටිනාකම් සහිත සමාගම්හි කොටස් මිලදී ගැනීම් සම්බන්ධයෙන් විදේශිකයන් තුළ පවතින උනන්දුව මෙන්ම එම කොටස් අඩු මිලට මිලදී ගැනීම් සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ පැවැති උනන්දුව තවදුරටත් එලෙසින්ම පැවැති බව එම සමාගම් සඳහන් කරයි. එසේම කොළඹ වරාය නගරය හරහා රට වෙතට ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේ ඇති හැකියාව පිළිබඳ විශ්වාසය වෙළෙඳ පොළ වෙත තවදුරටත් ධනාත්මකව බලපා තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,202.15ත් ඒකක 7,281.89ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,232.65ක් බවට පත්විය. එය ඊයේ (අප්‍රේල් 22දා) දිනයට සාපේක්ෂව ඒකක 95.26 ක් එනම් -1.30%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව හැටන් නැෂනල් බැංකුව සහ වින්ඩ්ෆොර්ස් ලිමිටඩ් සමාගම සිදු කළ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 3.1%ක දායකත්වයක් ලබා දී ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 33ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 146ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+2.76), ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+2.32), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පිඑල්සී SHL (+1.35), සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (+0.91), හේලීස් ෆැබ්රික් පීඑල්සී MGT (+0.75), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-9.7), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-7.98), රෝයල් සෙරමික්ස් පීඑල්සී RCL (-7.74), වැලිබල් වන් පීඑල්සී VONE (-6.2), කොමර්ෂල්බැංකුව COMB (-4.34) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,879.17ක අගයක් ගත් අතර, එය ඊයේ (22දා) ‍ට සාපේක්ෂව ඒකක 52.42 ක එනම් -1.79%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.37ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අප්‍රේල් 22) වාර්තා කළ රුපියල් බිලියන 2.61ට සාපේක්ෂව 9% ක පහළ වැටීමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.19ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.71%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 125.36ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 155.96ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 30.60කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 20.41ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 64.80 කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 111.17ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 576ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 24% ක අගයක් ගෙන තිබේ. බැංකු සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 509ක සහ රුපියල් මිලියන 417ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 542