මෙගාවොට් 10ක සූර්ය විදුලි බලාගාරයක් සඳහා වින්ඩ්ෆෝර්ස්, විදුල්ලංකා සහ හයිඑනර්ජි එක්වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සහ සිමාසහිත හයිඑනර්ජි සර්විසස් පෞද්ගලික සමාගම යටතේ ක්‍රියාත්මක සීමාසහිත සෝලාර් යුනිවර්ස් පෞද්ගලික සමාගමෙහි 33.33%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත්කර ගැනීමට වින්ඩ්ෆෝර්ස් පෞද්ගලික සමාගම පසුගියදා පියවර ගත් බව පවසයි.

සෝලාර් යුනිවර්ස් පෞද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කරවීම සඳහා අනුමැතිය හිමිව ඇති වවුනතිව්හි මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් වෙනුවෙන් මෙලෙස එම සමාගම් තුන එක්ව මෙම කොටස් අත්පත් කරගැනීම සිදුව ඇත. ඒ අනුව සෝලාර් යුනිවර්ස් පෞද්ගලික සමාගමෙහි එක සමාන (33.33%ක) කොටස් හිමිකාරීත්වයක් අදාළ සමාගම් තුන අතර බෙදී ගොස් තිබේ.

වවුනතිව්හි ක්‍රියාත්මක මෙම සූර්ය විදුලිබල ව්‍යාපෘතිය හරහා වාර්ෂිකව ගිගාවොට් පැය 19.70ක් ජාතික විදුලිබල පද්ධතිය වෙත එක් කිරීම සැලසුම වී තිබේ. එය විදුලිය නිෂ්පාදනය සඳහා වැය වෙන බොරතෙල් ලීටර් මිලියන 4.9ක ඉතිරියක් හා සමාන බව පැවසෙයි. මෙම ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය රුපියල් බිලියන 1.4ක් වන අතර එය වින්ඩ්ෆෝර්ස්, විදුල්ලංකා සහ හයිඑනර්ජි සර්විසස් යන සමාගම් තුන අතර සමව බෙදී යයි.

2021 තෙවැනි කාර්තුවේදී පමණ ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම සූර්ය විදුලිබලාගාරයේ නිර්මාණය සහ කළමනාකරණය අදාළ සමාගම් තුනෙහිම ඉංජිනේරුමය විශේෂඥතාවන් අනුව සිදු කරන බවත් පවසයි.

මෙලෙස සෝලාර් යුනිවර්ස් සමාගමේ ව්‍යාපෘතිය වෙත දායකවීමත් සමගින්ම වින්ඩ්ෆෝර්ස් පෞද්ගලික සමාගම මගින් දැනට ස්ථාපිත කර තිබෙන විදුලි ධාරිතාව මෙගාවොට් 228ක් දක්වා ඉහළ යයි.

පසුගියදා සිදු කළ අතිසාර්ථක මහජන ‍කොටස් නිකුතුවෙන් අනතුරුව වින්ඩ්ෆෝර්ස් සමාගම අද දිනයේදී සිය කොටස් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමට සූදානමින් සිටියි. 2011 වසරෙන් පසුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිදුවුණු දැවැන්තම මහජන කොටස් නිකුතුව වූයේද වින්ඩ්ෆෝර්ස් නිකුතුවයි.

Visits: 439