CSE පවත්වන ලේ දන්දීමේ කඳවුර බ්‍රහස්පතින්දා

කොළඹ කොටස් හුවමාරුව මගින් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දීමේ කඳවුර අප්‍රේල් 22 වැනිදා (බ්‍රහස්පතින්දා) සිදු කෙරෙන බව පවසයි.

එදින පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ 01, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ, බටහිර කුලුණේ පිහිටි 18 වැනි මහලේදී මෙම ලේ දන්දීමේ අවස්ථාව පැවැත්වෙයි. ජාතික රුධිර පාරවිලයන සේවාව මගින් මෙම අවස්ථාව සංවිධානය කෙරේ.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වන කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, “කොළඹ කොටස් හුවමාරුව මගින් මේ ලේ දන්දීමේ කඳවුර පවත්වන්ගේ තුන්වැනි වසරටයි. අද වනවිට ජාතික රුධිර පාරවිලයන සේවාව වෙත පවතින රුධිර ඉල්ලුම සපුරාලීම සඳහා මෙම අවස්ථාව සංවිධානය කරනවා.” යනුවෙන් පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා, මෙම ලේ දන්දීමේ කඳවුර COVID-19 පාලනය සඳහා රජයේ සෞඛ්‍ය බලධාරීන් ලබාදී ඇති සියලුම ආකාරයේ සෞඛ්‍ය උපදෙස් දැඩිව අනුගමනය කරමින් පවත්වන බවත් සඳහන් කර සිටියි.

මෙම අවස්ථාව සහභාගි වී ලේ දන්දීම සඳහා පැමිණෙන ලෙස සියලුම රුධිර පරිත්‍යාගශීලීන්ට කොළඹ කොටස් හුවමාරුව ආරාධනා කර සිටියි.

Visits: 42