ශ්‍රී ලංකාවේ සිට සංචාරය කරන්නන්ට එමිරේට්ස් වෙතින් විශේෂ ගමන් ගාස්තු

ශ‍්‍රී ලංකාවේ සිට සංචාරය කරන සිසුන් ඇතුළු සංචාරකයින්ට ප‍්‍රතිලාභ ලබාදීමට විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කර ඇතැයි පවසයි.

මේ අනුව, එමිරේට්ස් ගුවන් සමාගමේ ප‍්‍රවේශපත් මිලදී ගැනීමේ නම්‍යශීලී ප‍්‍රතිපත්තිය යටතේ මෙම විශේෂ ගාස්තු සහිත ප‍්‍රවේශපත්  වෙන්කර ගනිමින් ඒවා සැප්තැම්බර් 30 දක්වා භාවිතා කිරීමේ අවස්ථාව මෙන්ම ප‍්‍රවේශපත‍්‍ර වල වලංගු කාලය වසර තුනක් දක්වා දීර්ඝ කිරීමේ සහනය පාරිභෝගිකයින්ට ලබාදී ඇත.

එමගින් සමාගම බලාපොරොත්තු වන්නේ අවිනිශ්චිත කාල පරිච්ඡේදයක් තුළදී ඉතාමත් නම්‍යශීලී සහ විශ්වාසයෙන් යුතුව ගුවන් ගමන් සැලසුම් කිරීමේ අවස්ථාව සිය මගීන්ට ලබාදීමටයි. 

මෙහිදි, එමිරේට්ස් ගෝලීය ජාලයේ සියළුම ගමනාන්ත සඳහා මෙම විශේෂ ගාස්තු වලංගු වන අතර ඉකොනොමි පන්තියේ අවම ගාස්තුව රුපියල් 68,700 කින් සහ ව්‍යාපාරික පන්තියේ අවම ගාස්තුව රුපියල් 257,500 කින් ආරම්භ වනබව සමාගම සඳහන් කරයි. මෙම විශේෂ ගාස්තු වෙන්කර ගැනීම 2021 අපේ‍්‍රල් 13 වනදා සිට 26 වනදා දක්වා සිදු කළ යුතු බවත් එසේ වෙන්කර ගන්නා ප‍්‍රවේශපත් මගින් 2021 අපේ‍්‍රල් 16 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා සංචාරය කළ හැකි බවත් සමාගම පවසයි. 

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ලබාදෙන ඉකොනොමි පන්තියේ ආරම්භක ගාස්තු මෙසේය. ඩුබායි දක්වා යාමට සහ ඒමට ඇමරිකානු ඩොලර් 342 ක් (වත්මන් විනිමය අනුපාතයට අනුව රුපියල් 68,700 ක් පමණ) ද, මිලාන් සඳහා ඇමරිකානු ඩොලර් 654 ක් (රුපියල් 131,300 ක් පමණ) ද, පැරිසිය සඳහා ඇමරිකානු ඩොලර් 644 ක් (රුපියල් 129,300 ක් පමණ) ද, නිව්යෝර්ක් සඳහා ඇමරිකානු ඩොලර් 1,117 ක් (රුපියල් 224,200 ක් පමණ) ද, ටොරොන්ටෝ සඳහා ඇමරිකානු ඩොලර් 1,303 ක් (රුපියල් 261,500 ක් පමණ) සහ නයිරෝබි සඳහා ඇමරිකානු ඩොලර් 966 ක් (රුපියල් 193,900 ක් පමණ) ද වේ.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපාරික පන්තියේ ආරම්භක ගාස්තු මෙසේය. ඩුබායි දක්වා යාමට සහ ඒමට ඇමරිකානු ඩොලර් 1,283 ක් (වත්මන් විනිමය අනුපාතයට අනුව ආසන්න වශයෙන් රුපියල් 257,500 ක් පමණ) ද, මිලාන් සඳහා ඇමරිකානු ඩොලර් 3,127 ක් (රුපියල් 627,600 ක් පමණ) ද, පැරිසිය සඳහා ඇමරිකානු ඩොලර් 2,860 ක් (රුපියල් 574,000 ක් පමණ) ද, නිව්යෝර්ක් සඳහා ඇමරිකානු ඩොලර් 3,618 ක් (රුපියල් 726,100 ක් පමණ) ද,  ටොරොන්ටෝ සඳහා ඇමරිකානු ඩොලර් 3,654 ක් (රුපියල් 733,300 ක් පමණ) සහ නයිරෝබි සඳහා ඇමරිකානු ඩොලර් 2,179 ක් (රුපියල් 437,300 ක් පමණ) ද වේ. මෙම සියළුම ප‍්‍රවේශපත් වල මිල ප‍්‍රවේශපත් මිලදීගන්නා දිනයේදී තිබෙන විනිමය අනුපාතය අනුව තීරණය වනු ඇත.

මෙම විශේෂ ගාස්තු ලබාදීම යටතේ තෝරාගත් ගමනාන්ත වලට කිලෝ ග‍්‍රෑම් 05 ක අමතර භාණ්ඩ රැගෙන යාමේ දීමනාවක්ද ඇතුළත් වනබව සමාගම සඳහන් කරයි. මීට අමතරව, එමිරේට්ස් සහ ෆ්ලයිඩුබායි හි, ලෝයල්ටි වැඩසටහන වන එමිරේට්ස් ස්කයිවර්ඞ්ස් මගින් විශේෂ Cash+Miles ගෙවීමේ විකල්පය තුලින් තම සංචාර වලින් උපරිම ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව මගීන්ට ලබාදෙයි. ස්කයිවර්ඞ්ස් සාමාජිකයින්ට තමන් එකතු කරගත් ස්කයිවර්ඞ්ස් ලකුණු මගින් ගුවන් ප‍්‍රවේශපත් ගාස්තු වලින් කොටසක් ගෙවීමේ අවස්ථාව සමාගම විසින් ලබාදී ඇත.

Visits: 70