අපනයන මගින් ලද මුදල් මෙරටට ගෙන්වා ගැනීමේ රීතිය සංශෝධනයට

පසුගිය මාර්තු 09 වැනිදා (2021.03.09) ප්‍රසිද්ධ කරන ලද අංක 2218/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ඉදිරිපත් කෙරුණු අපනයනය මගින් ලද මුදල් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ රීතිය සංශෝධනයට ලක් කරන බව මහ බැංකුව පවසයි.

භාණ්ඩ අපනයනකරුවන්ගෙන් ලද ඉල්ලීම් සලකා බලා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් මෙම සංශෝධන පිළීබඳ තීරණය ගෙන තිබෙන බව මහ බැංකු අධිපති සහ මුදල් මණ්ඩලයේ සභාපති මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතා සඳහන් කර සිටියි.

ඒ අනුව ඉහත සඳහන් ගැසට් නිවේදනයේ ඇතුළත්වූ, භාණ්ඩ අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ අනිවාර්යය අවශ්‍යතාව එම ආදායමෙන් 25% සිට 10%ක්දක්වා අඩු කිරීමට මෙහිදී තීරණය වී තිබේ.

එසේම මෙලෙස භාණ්ඩ අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය දින 14 සිට දින 30ක් දක්වා දීර්ඝ කිරීමටත් මෙහිදී තීරණය වී තිබේ.

කෙසේ වෙතත් මෙම මුදල් පරිවර්තනය කරන දිනය, නැව්ගත කළ දින සිට දින එකසිය අසූවකට (180) පසු දිනයක් නොවිය යුතු බවත් මහ බැංකුව පවසයි.

රට තුළ විදේශ මුදල් සංචිත ඉහළ නංවා ගැනීමේ අරමුණින් මහ බැංකුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි. අපනයනකරුවන් සිය අපනයනය හරහා ලද මුදල් මෙරටට ගෙන්වා ගැනීම ප්‍රමාද කරවීම වැළැක්වීම එහි අපේක්ෂාව විය.

ඒ අනුව මෙම සංශෝධන ඇතුළත්නව ගැසට් නිවේදනය පිළිබඳ විස්තර http://www.documents.gov.lk/files/egz/2021/4/2222-60_S.pdf ගොනුවෙන් දැකගත හැකි බවත් මහ බැංකුව පවසයි.

Visits: 163