LOLC කාම්බෝජියා වෙත එරට අගමැතිගෙන් පැසසුම්

කාම්බෝජයේ ජාතික ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් LOLC (කාම්බෝජියා) පීඑල්සී මගින් සිදු කරන සේවාව අගයමින් එරට අගමැති සම්දාච් හසේනබ් ටෙකෝ හුන් සෙන් (Samdach Hassenab Techo Hun Sen) විසින් ස්තූතිය පුද කිරීමේ ලිපියක් එම සමාගම වෙත එවා ඇතැයි පවසයි.

ඒ අනුව LOLC කාම්බෝජියා සමාගමේ සියලුම කළමනාකරණ කමිටු සහ කාර්ය මණ්ඩලය වෙත මෙම ඇගයීමේ ලිපියෙන් ගෞරවය පුද කෙරෙන බවත් අගමැතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

අද වනවිට LOLC (කාම්බෝජියා) පීඑල්සී සමාගම එරට මුල් පෙළේ ක්ෂුද්‍රමූල්‍ය සේවාවන් සපයන ආයතනයක් බවට පත්ව තිබේ. 1994 වසරේදී Catholic Relief Service නම් ලාබ නොලබන සංවිධායක් මගින් කළමනාකරණය කෙරෙන ණය ලබා දීමේ ආයතනයක් ලෙස පිහිටවුණු ආයතනය පසුව Thaneakea Phum (Cambodial) ltd (TPC) ලෙස සමාගමක් බවට පත් කෙරිණි.

අනතුරුව 2015 වසරේදී එය LOLC (Cambodia) PLC බවට පත්විය. අද වන විට එම සමාගම LOLC පෞද්ගලික සමාගම (සිංගප්පූරුව) සහ TPC ESOP Co. සමාගමේ සම හිමිකාරීත්වය යටතේ පවතී.

එක්සත් ජනපද ඩොලර් බිලියනයක වත්කම් සහිත LOLC (කාම්බෝජියා) පීඑල්සී සමාගම සතු සේවක සංඛ්‍යාව 3,000 කට අධික වෙයි.

විශේෂයෙන්ම එම සමාගම සම්බන්ධයෙන් කාම්බෝජියානු ජනතාව අතර පවතින විශ්වාසය හේතුවෙන්ම 2014 වසරේදී එම සමාගම සතුව පැවැති එක්සත් ජනපද ඩොලර් මිලියන 188ක් වූ ණය කළඹ 2020 වන විට ඩොලර් මිලියන 800ක් දක්වා වර්ධනය වී ඇතැයිද පවසයි.

Visits: 557