දේශාල් ඩි මෙල් අද සිට ජනශක්ති ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ජනශක්ති ඉන්ෂුවරන්ස්පීඑල්සී සමාගමෙහි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස දේශාල් ඩි මෙල් මහතා පත් කිරීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි පවසයි.

අද (අප්‍රේල් 15දා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ. මෙම නව පත්වීම ලබන අවස්ථාව වන විට දේශාල් ඩි මෙල් මහතා සතු ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම පවසයි.

තරුණ ආර්ථිකවිද්‍යාඥයෙකු ලෙස ප්‍රචලිතව සිටින දේශාල් ඩි මෙල් මහතා සතුව රජයේ සහ පෞද්ගලික අංශයේ මෙන්ම ශාස්ත්‍රීය අංශය තුළද අත්දැකීම් රැසක් පවතින බව ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සඳහන් කරයි.

ඔහු මේ වනවිට වෙරිටේ රිසර්ච් හි පර්යේෂණ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි. මීට පෙර ඔහු මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයා ලෙසද කටයුතු කළේය. ඊට පෙරාතුව ඔහු හේලීස් සමූහයේ ජ්‍යෙෂ්ට ආර්ථික විද්‍යාඥයාද විය.

2018/2019 වසර කාලය තුළ ඔහු සුරැකුම්පත් හා විනිමිය කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා ලෙසද කටයුතු කළේය.

දේශාල් ඩි මෙල් මහතා මේ වනවිට සම්පත් බැංකුවෙහි, කැපිටල් එලායන්ස් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ මෙන්ම ටීඑන්එල් රේඩියෝ නෙට්වර්ක් පෞද්ගලික සමාගම යන සමාගම්හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි.

2019 වසරේ දී ලෝක ආර්ථික හමුවමගින් දේශාල් ඩි මෙල් මහතා ‘තරුණ ගෝලීය නායකයා‘  ලෙස පිදුම් ලැබුවේය.

Visits: 281