ඇක්සස් රෙසිඩෙන්සීස් ඉදිකරන Knowledge City Malabe

ඇක්සස් රෙසිඩෙන්සීස් සමාගම ඇතුළු ඇක්සස් සමූහය මගින් මාලබේ ඉදි කෙරන Knowledge City Malabe යටතේ පිහිටුවා ඇති Horizon Campus ආයතනය විවෘත කිරීම පසුගියදා සිදුවිය. අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා සහ ඇක්සස් සමූහයේ සභාපති සුමල් පෙරේරා මහතා ඇතුළු පිරිසගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය වී තිබේ.

අධ්‍යාපනික යටිතල පහසුකම් වෙනුවෙන්ම ඉදි කෙරෙන මෙම Knowledge City Malabe පරිශ්‍රය තුළ ඒ සඳහා අවශ්‍ය අනෙකුත් දායකත්ව පහසුකම් රැසකින්ම සමන්විත වෙයි. ඒ අනුව නිවාස, වාණිජ, සිල්ලර වෙළෙඳ ස්ථාන මෙන්ම සේවාවන්ද මෙහි ස්ථාපිත කිරීමට නියමිතය. මෙහිදී අදාළ ඉදිකිරීම් ඇක්සස් රෙසිඩෙන්සීස් සහ Foresight Enginnering පෞද්ගලික සමාගම එක්ව සිදු කරයි.

ඇක්සස් ඉන්ජිනියරිං මගින් ඉදි කළ මෙම හොරයිසන් කැම්පස් මෙම පරිශ්‍රයේ ඉදි කෙරුණු පළමු ගොඩනැගිල්ලද වෙයි.

ඉදි කිරීම් අවසන් කිරීමෙන් අනතුරුව මෙම Knowledge City Malabe පරිශ්‍රය ‘ආසියාවේ හොඳම නවෝත්පාදන මධ්‍යස්ථානය’ බවට පත් කිරීම සැලසුම වී තිබේ.

මෙහිදී ඉදි කෛරන වාණිජ අවකාශය නවීනතම යටිතල පහසුකම් සහිතව ඉදි කෙරෙන අතර සුවිශේෂී ව්‍යාපාර ලිපිනයක්ද ඒ වෙත හිමි වන බව පැවසෙයි.

මෙම Knowledge City Malabe තුළ අධ්‍යාපනය හදාරනු ඇතැයි බලාපොරොත්තු වන සිසුන් සංඛ්‍යාව 10,000කට අධිකය ඔවුන් සහ පවුල්වල සාමාජිකයයන්ට මෙහි ඉදි කෙරෙන නිවාස ලබා දීමට නියමිතය. එසේම සුපිරි වෙළෙඳ සැල්, බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන ආහාර අලෙවි සැල් සහ විනෝදාස්වාදන මධ්‍යස්ථානද එහි ඇත.

මෙම හොරයිසන් කැම්පස් විවෘත කිරීමේ අවස්ථාව සඳහා අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් සහ ඇක්සස් සමූහයේ සභාපති සුමල් පෙරේරා මහතාට අමතරව Foresight Engineering තියෝ ප්‍රනාන්දු, හොරයිසන් කැම්පස්හි සභාපති උපුල් දරණාගම, ඇක්සස් සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ෂමල් පෙරේරා, Foresight Engineering හි අධ්‍යක්ෂ අයේෂ් ප්‍රනාන්දු, එම සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න දිසානායක, හොරයිසන් කැම්පස්හි ප්‍රධාන විධායක නිලධාරී අජිත වනසිංහ, උප කුලපති – මහාචාර්ය එස්.ජේ.බී.ඒ. ජයසේකර, නියෝජ්‍ය උප කුලපති – ආචාර්ය රුවන් පෙරේරා සහ එහි පීඨාධිපති ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක්ද මීට සහභාගි වී ඇත.

ඡායාරූප හිිමිකම – Pulse

Visits: 547