විදුල්ලංකා සමාගම සෝලා යුනිවර්ස් සමාගමේ 50%ක් අත්පත් කරගනියි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම සූර්යවිදුලි බල පද්ධති සේවා සපයන සීමාසහිත සෝලාර් යුනිවර්ස් පෞද්ගලික (Solar Universe Pvt Ltd) සමාගමේ 50%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගෙන ඇතැයි පවසයි.

ඊයේ දිනයේදී මෙම ගනුදෙනුව සිදුව ඇති අතර, කොටස් දායකත්ව (Share subscription) එකඟතාවක් යටතේ මෙම කොටස් අත්පත් කරගැනීම සිදු කර ඇතැයි විදුල්ලංකා පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙවැනි කොටස් දායකත්ව එකඟතාවකදී යම්කිසි නියමිත කොටස් ප්‍රමාණයක් යම් කිසි කාලසීමාවකට අලෙවි කිරීමක් සිදු වෙයි.

සීමාසහිත සෝලාර් යුනිවර්ස් සමාගමේ ඉතිරි  50%ක කොටස් හිමිකාරීත්වය Hienergy Services (පෞද්) සමාගම වෙත හිමිව පවතී.

මෙලෙස විදුල්ලංකා පීඑල්සී සමාගම මගින් 50%ක හිමිකාරීත්වය ලබා ගත් සෝලාර් යුනිවර්ස් පෞද්ගලික සමාගම සතුව වවුනතිව් පළාතේ ඉදි කෙරෙන මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් භූමිය මත සවි කෙරෙන සූර්ය පැනල බලාගාරයක් සඳහා වන හිමිකම සහ අනුමැතිය ලැබීමට නියමිතව පවතින බවත් සඳහන් වෙයි.

මෙහිදී එම සමාගම ලංකා විදුලි බල මණ්ඩලය සමගින් බලශක්තිය මිලදී ගැනීමේ එකඟතාවකටද පිවිස ඇති ඇති අතර එහිදී වසර 20ක කාලයකට විදුලි ඒකකයක් රුපියල් 14.41ක් බැගින් අලෙවි කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.

මේ අතර අදාළ 50%ක කොටස් හිමිකාරීත්වය ලබා ගැනීම සහ අදාළ ව්‍යාපෘතියේ ඉදිරි සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.4ක මුදලක් වැය වෙනු ඇතැයිද විදුල්ලංකා පීඑල්සී සමාගම ගණන් බලා තිබේ.

එහිදී ඒ සඳහා වන අරමුදල් රැස් කරගැනීමක් වෙනුවෙන් සිය නිෂ්-ඡන්ද කොටස් හිමිකම් නිකුතුවක් සිදු කිරීමටද කටයුතු කරන බවද විදුල්ලංකා පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී සිටියි.

Visits: 287